Ultimate magazine theme for WordPress.

කඩුලු 5ක ජයකින් මුම්බාය ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණට – Match Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, අද(11) පැවැති මෙවර තරගාවලියේ 27 වන තරගයෙන් ඔවුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

අබුඩාබිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

ශිකර් දවාන් නොදැවී ලකුණු 69ක් රැස් කළේ පන්දු 52කදී හයේ පහරක් සහ හතරේ පහර 6ක් සමගින්.

නායක ෂ්රෙයස් අයියර් ලකුණු 42යි.

පන්දු යැවීමේ දී කෘනල් පාන්ඩ්යා ලකුණු 26කට කඩුලු 2ක් බිද හෙලුවා

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

ක්වෙන්ටන් ඩී කොක් සහ සූර්යකුමාර් යාදෙව් ලකුණු 53 බැගින් ලබා ගත්තා.

පන්දු 36කින් වාර්තා වූ ඩී කොක්ගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්.

සූර්යකුමාර් යාදෙව් පන්දු 32කින් ලකුණු 53 රැස් කළ අතර, ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 6ක් ඇතුළත්ව තිබුණා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 28කට කඩුලු 2ක් බිද හෙලුවා.

Leave a comment