Ultimate magazine theme for WordPress.

කඩුලු 10ක ජයකින් හයිදරාබාද් පිල IPL අවසන් වටයට – Match Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට (playoffs) සුදුසුකම් ලබා ගැනීමට ඩේවිඩ් වෝනර් නායකත්වය දරන සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා.

ඒ, අද(3) පැවැති මෙවර තරගවාරයේ මූලික වටයේ අවසන් තරගයෙන් ඔවුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 10ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඒ අනුව තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට අහිමි වුණා.

සාජාහි අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ හයිදරාබාද් පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තා.

කිරන් පොලාඩ් ලකුණු 41ක්, සූර්යකුමාර් යාදෙව් ලකුණු 36ක් සහ ඉෂාන් කිෂන් ලකුණු 33ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සන්දීප් ෂර්මා කඩුලු 3ක් බිද හෙලූ අතර, ජේසන් හෝල්ඩර් සහ ශහ්බාස් නදීම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදරාබාද් කණ්ඩායම පන්දුවාර 17.1ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

නායක ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 85(58)ක් සහ ව්රිධිමන් සහා නොදැවී ලකුණු 58(45)ක් ලබා ගත්තා.

මෙවර තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය(Qualifier 1) එළඹෙන 5 වනදා ඩුබායි හී දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 10 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.

අවසන් වටයේ දෙවන තරගය (Eliminator) එළඹෙන 6 වනදා අබුඩාබිහී දී පැවැත්වෙන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අතරයි.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සහ අවසන් වටයේ පළමු තරගයෙන් පරාජයට පත් වූ කණ්ඩායම අවසන් වටයේ තෙවැනි තරගය සදහා(Qualifier 2) සුදුසුකම් ලබනු ඇති.

අනතුරුව අවසන් වටයේ තෙවැනි තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබනවා.

BCCI / IPL T20
Leave a comment