Ultimate magazine theme for WordPress.

එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ ඉදිරි තරග අත්හිටුවයි

එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරයේ ඉදිරි තරග අත්හිටුවා තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසයත් සමග පවතින සෞඛ්‍ය තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්.

දෙරට අතර තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය සාර්ථක ලෙස පවත්වා අවසන් කිරීමට හැකි වූ නමුත්, තරග 3කින් යුත් එක්දින තරගාවලියේ එකදු තරගයක් හෝ පැවැත්වීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් අදාළ තරගාවලිය ඉදිරියේ දී පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් දකුණු අප්‍රිකා හා එංගලන්ත ක්‍රිකට් ආයතන සාකච්ඡා කර තීරණයකට එළඹෙනු ඇති.

පළමු එක්දින තරගය පසුගිය සිකුරාදා කේප් ටවුන් හී දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කාසියේ වාසිය උරගා බැලීමට පැයකටත් අඩු කාලයකදී තරගය ඊයේ(6) දිනය දක්වා කල් දැමීමට තීරණය කළ බවට නිවේදනය කෙරුණා.

ඒ, දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනා ගැනීම හේතුවෙන්.

කෙසේ වෙතත්, දකුණු අප්‍රිකා එක්දින සංචිතයේ සියලු ක්‍රීඩකයින් කොරෝනා වෛද්‍ය පරීක්ෂණවලින් සමත් වී ඇති බව පසුව නිවේදනය කෙරුණු අතර, ඊයේ දිනයේ දී තරගය නියමිත පරිදි පැවැත්වීමටයි තීරණය කෙරුණේ.

නමුත් ඊයේ තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට මිනිත්තු 20කට පෙර දකුණු අප්‍රිකා සහ එංගලන්ත ක්‍රිකට් ආයතන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ තරගයේ ආරම්භක වේලාව ප්‍රමාද කිරීමට සිදුව ඇති බවයි.

ඊට හේතු වූයේ ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටි හෝටලයේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අණාවණය වීමයි.

ඒ අනුව එංගලන්ත ක්‍රීඩකයින් යළිත් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමට පියවර ගෙන තිබුණා.

පළමු මාධ්‍ය නිවේදනයෙන් මිනිත්තු කිහිපයකට පසුව දෙරටේ ක්‍රිකට් ආයතන යළිත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එංගලන්ත සංචිතයේ දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට “තහවුරු නොකළ” හදුනා ගැනීමක් සිදු කර ඇති බැවින් පළමු තරගය අත්හැර දැමීමට කටයුතු කරන බවයි.

ඒ අනුව එංගලන්ත ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල නිළධාරීන් ස්වයං නිරෝධායනයට ද ලක් කෙරුණා.

පසුව අද දිනයේ දී දෙරටේ ක්‍රිකට් ආයතනය ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ ක්‍රීඩකයින්ගේ මානසික හා ශෘරීරික සෞඛ්‍ය පිළිබද සලකා බලා තරගාවලියේ ඉදිරි තරග අත්හිටුවීමට පියවර ගන්නා බවයි.

ඉදිරියේ දී ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය යන රටවල් ද දකුණු අප්‍රිකා තරග සංචාරවල නිරත වීමට නියමිතව තිබෙනවා.

Leave a comment