Ultimate magazine theme for WordPress.

එංගලන්තය ජයග්‍රහනයට තවත් ලකුණු 332 ක් පිටුපසින්

Day 3 Report

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(4) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ඉන්දියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 399 ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කඩුල්ලක් දැවී ලකුණු 67 ක් ලබා සිටියා.

සැක් ක්‍රව්ලි නොදැවී ලකුණු 29 ක් හා රෙහාන් අහ්මඩ් නොදැවී ලකුණු 9ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පළමු කඩුල්ල සදහා ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ක්‍රව්ලි හා බෙන් ඩකට් සමත් වූ අතර, ඩකට් ලකුණු 28(පන්දු 27) ක් රැස් කර සිටියදී රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

එංගලන්තය තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 332 ක් ලබා ගත යුතු අතර, ඉන්දියාව තරගය ජය ගනිමින් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමටනම් තවත් කඩුලු 9ක් දවා ගත යුතුයි.

විසාකාපට්නම් හී දී පැවැත්වෙන තරගය අද දිනය සදහා ආරම්භ කරන විට ඉන්දියාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 28 ක් ලබා සිටි අතර, ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 255 කට දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ඉනිම ආරම්භයේ දී ආසන්න දැවී යාමේ අවස්ථා කිහිපයකින්ම සිය කඩුල්ල ආරක්ෂා කර ගැනීමට සමත් වූ ෂුබ්මන් ගිල් සිය 3 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 104 ක් රැස් කළා. පන්දු 147 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 11 ක් ඇතුළත්.

අක්සාර් පටෙල් ලකුණු 45 ක් ලබා ගත් අතර, ෂ්රෙයස් අයියර් හා රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 29 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ටොම් හාර්ට්ලි ලකුණු 77 කට කඩුලු 4 ක් දවා ගත්තා. රෙහාන් අහ්මඩ් කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 88 ක් ලබා දෙමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 396 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලබා ගත්තේ ලකුණු 253 ක් පමණයි.

Leave a comment