Ultimate magazine theme for WordPress.

ඉෂාන් කිෂන්ට හා ෂ්රෙයස් අයියර්ට දුන්නේ දඩුවමක් ද? කොන්ත්‍රාත්තු අහිමි කළ හේතුව මෙන්න

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඊයේ (28) පස්වරුවේ නිවේදනය කෙරුණු මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් හිමි වූ ක්‍රීඩක ලැයිස්තුවට ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් නොවීම ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් මාතෘකාවක් බවට පත් වුණා.

ෂ්රෙයස් අයියර් හා ඉෂාන් කිෂන් යන දෙදෙනාටම වාර්ෂික මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් නොලැබුණු අතර, අයියර් පසුගිය වසරේ දී B කාණ්ඩයට ද, කිෂන් පසුගිය වසරේ දී C කාණ්ඩයට ඇතුළත්ව සිටියා.

අයි.පී.එල් තරගාවලියට ප්‍රමුඛතාවය ලබා දෙමින් ඉන්දියාව වෙනුවෙන් හා දේශීය තරග ක්‍රීඩා කිරීමෙන් තාවකාලිකව ඔවුන් දෙදෙනා ඉවත් වීමට ගත් තීරණ මෙලෙස කොන්ත්‍රාත් ගිවිසුම් අහිමි වීමට හේතු වී ඇති බව සදහන්.

නිමා වූ දකුණු අප්‍රිකා තරග සංචාරය සදහා ඉෂාන් කිෂන් ඇතුළත් නොවූයේ ඔහු පෞද්ගලික හේතුවක් මත ක්‍රිකට් ක්‍රීඩාවෙන් විවේක ගැනීමට ගත් තීරණයක් හේතුවෙන්. එංගලන්තයට එරෙහිව මේ වන විට පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා ද ඔහුව ඇතුළත් කිරීමට කණ්ඩායම් කලමනාකාරීත්වය අවධානය යොමු කර තිබූ නමුත්, තමා තවමත් ක්‍රීඩා කිරීමට සූදානමින් පසු නොවන බවයි කිෂන් සදහන් කර ඇත්තේ.

එවැනි පසුබිමක, ඔහු මෙම සතිය ආරම්භයේ දී DY Patil T20 තරගාවලිය සදහා ක්‍රීඩා කරමින් යළි ක්‍රිකට් පිටියට පිවිසියා.

ෂ්රෙයස් අයියර් එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරග දෙක සදහා ක්‍රීඩා කළ නමුත්, පසුව ඔහු පිට කොන්ද ආශ්‍රිත සුළු ආබාධයකට ලක්වුණා.

කෙසේ වෙතත්, ඔහුව තේරීම් සදහා සලකා බැලිය හැකි මට්ටමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවයි වෛද්‍ය කමිටුව නිර්දේශ කර තිබුණේ. නමුත්, ඔහු තෙවැනි හා සිව්වැනි ටෙස්ට් තරග දෙක සදහා වන ඉන්දීය සංචිතයට නම් නොකෙරුණු අතර, ඒ සදහා හේතුවක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ නැහැ.

ඉන්දීය කණ්ඩායම සදහා ක්‍රීඩා නොකළ ඔහු රංජි කුසලාන තරගාවලියේ දී මුම්බායි කණ්ඩායම සදහා ද ක්‍රීඩා කළේ නැහැ. ඊට හේතු වශයෙන් මුම්බායි ක්‍රිකට් සංගමය සදහන් කර ඇත්තේ ඔහුට පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් (back spasms) පවතින බවයි. ඒ, ජාතික ක්‍රිකට් ඇකඩමියේ වෛද්‍ය කණ්ඩායම විසින් ඔහුට කිසිදු ආබාධයක් නොමැති බව සදහන් කර තිබූ පසුබිමකයි.

කොන්ත්‍රාත් ගිවිසුම් නිවේදනය කරමින් නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනය අවසානයේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙලෙස වාක්‍යයක් සදහන් කර තිබුණා.

“සියලුම ක්‍රීඩකයින් ජාතික කණ්ඩායම නියෝජනය නොකරන කාලයේ දී දේශීය තරගවලට සහභාගි වීමට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව BCCI නිර්දේශ කර ඇත.”

මීට සති දෙකකට පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් හිමිව තිබූ ක්‍රීඩකයින් වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර තිබුණේ දේශීය ක්‍රිකට් සහ ජාතික කණ්ඩායමේ රාජකාරිවලට වඩා IPL තරගාවලියට ප්‍රමුඛත්වය ලබා නොදෙන ලෙසයි.

එංගලන්තය සමග පැවැති සිව්වැනි ටෙස්ට් තරගයෙන් පසුව නායක රෝහිත් ෂර්මා ද සදහන් කර සිටියේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට “කුසගින්න” පෙන්වන ක්‍රීඩකයින්ට පමණක් ඉදිරියේ දී අවස්ථාව ලබා දෙන බවයි.

ඉෂාන් කිෂන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විවේකයක් ගෙන සිටින බව සදහන් කළ ද, ඔහු එම කාලයේ දී මුම්බායි ඉන්දියන්ස් නායක හර්ඩික් පාන්ඩ්යා සමග Baroda හී දී පුහුණුවීම් කටයුතුවල නිරතව තිබූ බව සදහන්. ෂ්රෙයස් අයියර් ද ඉන්දියාව හා මුම්බායි වෙනුවෙන් ක්‍රීඩා නොකළ ද, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණු කදවුරක එම කාලයේ දී රැදී සිට ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

“තේරීම් කමිටුව ඔවුන්ගේ හැකියාව ගැන සැක කරන්නේ නැහැ. නමුත් ඔබ යෝග්‍යයි කියලා ජාතික ක්‍රිකට් ඇකඩමිය පවසද්දීත්, ඔබ ටෙස්ට් තරඟාවලිය සඳහා ඉදිරිපත් නොවන්නේ නම්, BCCI ඔබට කොන්ත්‍රාත්තුවක් ලබා දෙන්නේ කොහොමද?” යනුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උසස් නිලධාරියෙකු ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත සදහන් කර තිබෙනවා.

මේ අනුව පෙනී යන්නේ එළඹෙන මාර්තු 22 වැනිදා ආරම්භ වන අයි.පී.එල් තරගාවලිය සදහා සූදානම් වීමේ අරමුණින් ඉෂාන් කිෂන් හා ෂ්රෙයස් අයියර් ජාතික කණ්ඩායම වෙනුවෙන් හා දේශීය තරග වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටීම පදනම් කර ගනිමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන්ට මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් ලබා දීම අත්හිටුවා ඇති බවයි.

ALSO READ : මධ්‍යම කොන්ත්‍රාත් හිමි වූ ඉන්දීය ක්‍රීඩකයින් නිවේදනය කෙරේ – ප්‍රබලයින් කිහිප දෙනෙකු ඉවතට

Leave a comment