Ultimate magazine theme for WordPress.

ඉන්දීය ක්‍රිකට් ලේකම්ගේ ඒකපාර්ශ්වික තීරණයට පාකිස්තානයෙන් ප්‍රබල පිළිතුරක්

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී නොපවත්වන බවට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් සිදු කළ ප්‍රකාශය දැඩිව හෙලා දකිමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද (19) නිවේදනයක් නිකුත් කළා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය චෝදනා කරන්නේ අදාළ තීරණය සභාපතිවරයා විසින් ඒකපාර්ශ්විකව ගෙන ඇති බවයි.

2023 වසරේ දී පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ඉන්දිය කණ්ඩායම එක් නොවන බවත්, ඒ හේතුවෙන් තරගාවලිය මධ්‍යස්ථ (neutral venue) රටක පැවැත්වීමට කටයුතු කිරීමට තමා තීරණය කර ඇති බවටත් ජේ ශාහ් ඊයේ(18) ප්‍රකාශ කළා.

ඔහුගේ මෙම තීරණය 2023 වසරේ දී ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා මෙන්ම 2024-2031 කාලයේ දී ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත අයි.සී.සී තරගාවලි සදහා පාකිස්තාන කණ්ඩායමේ සහභාගීත්වයට ද බලපෑමක් එල්ල කරනු ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්ව ඇත්තේ.

සභාපතිවරයා සිදු කළ ප්‍රකාශය පිළිබද පුදුමයට හා කණගාටුවට පත් වන බව ද එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ආසියානු ක්‍රිකට් කවුන්සලය සමග හෝ පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමග කිසිදු සාකච්ඡාවක් සිදු නොකරන මෙම තීරණය ගෙන ඇති බවට ද පාකිස්තාන ක්‍රිකට් ආයතනය චෝදනා කර සිටියා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා හදිසි රැස්වීමක් කැදවිය යුතු බවටයි එරට ක්‍රිකට් ආයතනය ආසියානු ක්‍රිකට් කවුන්සලයෙන් ඉල්ලා සිටින්නේ.

Leave a comment