Ultimate magazine theme for WordPress.

ඉන්දියාව 20යි 20 තරගාවලිය පරදියි

Match Report

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති තරග 5 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-2 ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(14) අලුයම සමත් වුණා.

ඒ, රොමාරියෝ ෂෙපර්ඩ්ගේ විශිෂ්ඨ පන්දු යැවීමත්, බ්‍රෙන්ඩන් කිංග්ගේ නොදැවුණු ඉනිමත් හමුවේ දෙරට අතර පැවැති 5 වැනි හා අවසන් 20යි 20 තරගයෙන් කොදෙව්වන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට සමත් වීමත් සමගයි.

මෙය 2017 වසරෙන් පසුව කොදෙව්වන් විසින් ඉන්දියාවට එරෙහිව 20යි 20 තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාවයි.

ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි Lauderhill හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 9 ක් දැවී ලකුණු 165 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 18 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් කිංග් පන්දු 55 කින් නොදැවී ලකුණු 85 ක් ලබා ගත්තා. හයේ පහර 6 ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ක්යල් මේයර් ලකුණු 10 කට දැවී ගියා.

කිංග් හා නිකලස් පූරාන් අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 107 (72) ක්.

නිකලස් පූරාන් පන්දු 35 කින් ලකුණු 47 ක් රැස් කළ අතර, ෂේයි හෝප් නොදැවී ලකුණු 22(13) යි. පූරාන්ගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහරක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං හා තිලක් වර්මා කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ සූර්යකුමාර් යාදව්. ඔහු පන්දු 45කින් ලකුණු 61 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් සමගින්.

තිලක් වර්මා ලකුණු 27(18) යි. පන්දු යැවීමේ දී රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 31 කට කඩුලු 4 ක් දවා ගත් අතර, අකීල් හොසෙයින් හා ජේසන් හෝල්ඩර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Leave a comment