Ultimate magazine theme for WordPress.

ඉන්දියාව ලකුණු 321ක් පිටුපසින් – Day 3 Report

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර චෙන්නායිහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(7) නිමා වුණේ තරගයේ පාලනය තවදුරටත් එංගලන්තයට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 257ක්.

එංගලන්ත පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළ රිෂාබ් පාන්ට් පන්දු 88කින් ලකුණු 91ක් ලබා සිටියදී ඩොම් බෙස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

චෙටස්වර් පුජාරා ලකුණු 73ක් රැස් කළ අතර, ෂුබ්මන් ගිල් ලකුණු 29යි.

නායක විරාට් කෝලි ලකුණු 11කටත්, රෝහිට් ෂර්මා ලකුණු 6කටත් දැවී ගිය අතර, අජින්කෙයා රහානේ රැස් කළේ එක් ලකුණක් පමණයි.

රහානේගේ කඩුල්ල දවා ගැනීම සදහා ජෝ රූට් විසින් එක් අතක් පමණක් උපයෝගී කර ගනිමින් සුපිරි උඩ පන්දු රැක ගැනීමක් සිදු කළ අතර, එය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින වොෂින්ටන් සුන්දර් ලකුණු 33ක් සහ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 8ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ඩොම් බෙස් කඩුලු 4ක් දවා ගත් අතර, ජොෆ්ර ආචර් කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය අද පෙරවරුවේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 578ක්.

ඊට ජෝ රූට් රැස් කළ විශිෂ්ඨ ද්විත්ව ශතකය ඇතුළත්.

ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 321ක්.

Leave a comment