ඉතිහාසයේ ලොව හොදම පිතිකරු ලෙස හැදින්වූයේ අපේ “සතා” බව ඔබ දැන සිටියාද?

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම පිතිකරු කවුරුන්දැයි විමසුවහොත් විවිධ පිළිතුරු ලැබෙන බවට සැකයක් නම් නැහැ.
යමෙකු කුමාර් සංගක්කාර යැයි පවසනු ඇති. තවත් අයෙකු අරවින්ද යැයි කියනු ඇති. මහේල, සනත්, මාවන් යනාදී වශයෙන් නම් රැසක් කියනු නිසැකය.
නමුත් අද අපගේ මෙම ලිපියේ කථානායකයාගේ නමනම් කිසිවෙකුත් පවසාවියැයි සිතීම දුෂ්කරය.
ඊට හේතුව ඔහු මේ පුංචි දිවයින නියෝජනය කරන විට ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් නොලැබී තිබීම විය හැක.
කෙසේ වෙතත්, ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ 1948 වසරේ පැවැති ඓතිහාසික තරගයේ දී සිලෝන් කණ්ඩායමේ නායකයා ලෙස කාසියේ වාසිය උරගා බැලීමට යන තරුණ ක්‍රීඩකයාගේ ඡායාරූපය ඔබ දැක ඇති බව නම් සැක නැහැ.
ඔහු නමින් මහදේවන් සතාසිවම්. ආදරේට සියලු දෙනා ඔහුව ආමන්ත්‍රණය කළේ “සතා” නම් කෙටි නමින්.
එවකට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව එතරම් දියුණු තත්ත්වයක නොතිබූ බව නොරහසක්.
ඒ අනුව අද අපගේ කථානායකයා වන සතාසිවම් ක්‍රීඩා කර තිබුණේ ද පළමු පෙල තරග 11ක් පමණයි.
එහිදී ලකුණු 753ක් රැස් කරමින් ඉනිමක සාමාන්‍ය 42කට ආසන්න ප්‍රමාණක රදවා ගැනීමට ඔහු සමත් වී තිබුණා.
ඊට ඉන්දියාවේ දී ඔහු ඉනිමකදී වාර්තා කළ ලකුණු 215ද ඇතුළත්.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඉන්දියාවේ දී වාර්තා කළ පළමු ද්විත්ව ශතකය එය ලෙසයි සැලකෙන්නේ.
ඉතිං මේ අපේ ආදරණීය “සතා” ලොව හොදම පිතිකරු ලෙස හැදින්වූයේ කවුරුන්ද?
මෙතෙක් ලොව බිහි වූ විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සැලකෙන කොදෙව් දූපත්හි ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් තමයි ඔහුව එලෙස හදුන්වනු ලැබුවේ.
ඔහු මහදේවන් සතාසිවම් හැදින්වූයේ පෘථිවියේ පහළ වූ ලෝක ඉතිහාසයේ විශිෂ්ඨතම පිතිකරු ලෙසයි.
එමෙන්ම කොදෙව් හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වූ ශ්‍රීමත් ෆ්රෑන්ක් වොරෙල් (Frank Worrell) අපේ “සතා” ව හැදින්වූයේ ඔහු ඉතිහාසයේ දුටු විශිෂ්ඨතම පිතිකරුවා ලෙසින්.
ඔහුගේ විශිෂ්ඨත්වය තවත් මොනවට පැහැදිලි කරන අවස්ථා වන්නේ සිංගප්පූරු සහ මැලේසියානු ජාතික කණ්ඩායම්වල ද නායකත්වය දැරීමට මහදේවන් සතාසිවම් සමත්වීමයි.
ජාතික කණ්ඩායම් 3ක නායකයා වූ ලොව එකම ක්‍රීඩකයා ඔහු බවට සැකයක් නැහැ.
1915 වසරේ ඔක්තෝම්බර් 18 වනදා උපන් මේ සුපිරි පිතිකරුවා 1977 වසරේ ජූලි 9 වනදා 61 වන වියේ පසුවද්දී ජීවිත ක්‍රීඩාවෙන් සමු ගෙන ගියේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් නොමැකෙන නමක් සටහන් කරමින්.
මහදේවන් සතාසිවම් ක්‍රීඩා කළ විශිෂ්ඨ ඉනිම් කිහිපයක් –
1944 – 101 v Bombay Muslims
1945 – 111 v India
1945 – 167 v SSC
1947 – 215 v South India
1947 – 163 v SSC
1950 – 96 v Commonwealth XI
