Ultimate magazine theme for WordPress.

ආරාධිත 20යි 20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් හතරේ නායකයින් මෙන්න

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සහ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ එක් පියවරක් ලෙස පැවැත්වීමට නියමිත ආරාධිත 20යි 20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් හතරෙහි නායකයින් මේ වන විට පත් කර ඇති බව වාර්තා වනවා.

මෙම තරගාවලිය, ජාතික සහ පළමු පෙළ නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළේ.

අගෝස්තු 12 වැනිදා ආරම්භ වීමට නියමිත තරගාවලියේ සියළු තරග කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

නිල් (Blues), රතු (Reds) , කොළ (Greens) සහ අළු (Greys) වශයෙන් එම කණ්ඩායම් 4 නම් කර තිබෙනවා.

දසුන් ශානක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් හා අශාන් ප්‍රියන්ජන් අදාළ කණ්ඩායම්වල නායකත්වය දැරීමට නියමිතව ඇති බවයි ක්‍රීඩා මාධ්‍යවේදී ධනුෂ්ක අරවින්ද මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

මෙම තරගාවලියේ මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 6 කට ක්‍රීඩා කරන අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් අගෝස්තු 24 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුසුදුකම් ලබනු ඇති.

තරගාවලියේ සියළුම තරග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වෙනවා.

සෑම දිනකම තරග 2 බැගින් පැවැත්වෙන බව ද සදහන්.

පළමු තරගය ප.ව. 2.30 ට ආරම්භ වන අතර අනෙක් තරගය රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ඉදිරි තරග කාලසටහනට අනුව වැදගත් තරගාවලි කිහිපයක්ම පැවැත්වෙන බැවින්, ඊට අවශ්‍ය තරග පුහුණුව ලබාදීම මෙම තරගාවලිය සංවිධාන කිරීමේ ප්‍රධාන අරමුණක්.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට සහ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබා දීම ද අරමුණු කර ගනිමින් මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ බවයි ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කළේ.

තරගාවලිය නියෝජනය කරනු ලබන එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඇතුළත්.

Leave a comment