Ultimate magazine theme for WordPress.

අසලංක හා මෙන්ඩිස්ගේ අර්ධ ශතක කොළඹට ජය ගෙනෙයි

Match Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම අද (26) සමත්වුණා.

කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ දඹුල්ල කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ නායක අශාන් ප්‍රියංජන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 40 ක් තුළ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 143 ක් පමණයි.

ලසිත් අබේරත්න ලකුණු 41(53) ක් රැස්කළා. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 07 ක් ඇතුළත්.

නායක අශාන් ප්‍රියංජන් පන්දු 25 කට මුහුණ දෙමින් හතරේ පහරවල් 02 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 31 ක් ලබා ගත්තා.

පවන් රත්නායක ලකුණු 19(29) කටත්, සොනාල් දිනූශ ලකුනු 15(34) කටත්, දුවිඳු තිලකරත්න ලකුණු 12(29) කටත් දැවීගියා.

අනර්ඝ පන්දු යැවීමක නිරත වෙමින් ප්‍රභාත් ජයසූරිය ලකුණු 35 කට කඩුලු 03 ක් බිඳ හෙලීමට සමත් වුණා.

චරිත් අසලංක සහ කලන පෙරේරා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. කවිඳු නදීශාන් සහ සම්මු අශාන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ලකුණු 144 ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොළඹ කණ්ඩායම පන්දුවාර 20.4ක් අවසානයේ ජයග්‍රහනය වාර්තා කළේ කඩුලු 3ක් දැවී සිටියදීයි.

ප්‍රථම කඩුල්ල ලෙස මුළු ලකුණු සංඛ්‍යාව 43 ක්ව තිබියදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 6 කට දැවී ගියා.

ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස් සමග දෙවන කඩුල්ලට පිටියේ එක් වූ නායක චරිත් අසලංක ලකුණු 71 ක සබදතාවක් ගොඩනැගීමට සමත්වුණා.

පන්දු 44 කට මුහුණ දෙමින් ලකුණු 67 ක් ලබා සිටිය දී කුසල් මෙන්ඩිස් දැවී ගියා. ඔහුගේ එම වේගවත් ඉනිම හයේ පහර 04 කින් සහ හතරේ පහර 06 කින් වර්ණවත් වුණා.

අසලංක පන්දු 46කින් නොදැවී ලකුණු 52යි. හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී අශාන් ප්‍රියන්ජන්, ලක්ෂාන් සදකැන් හා නුවන් තුෂාර එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Leave a comment