Ultimate magazine theme for WordPress.

අක්මාල්ගේ අභියාචන තීන්දුව කල් යයි

තමාට එරෙහිව පනවා ඇති තරග තහනමට එරෙහිව පාකිස්තාන පිතිකරු උමාර් අක්මාල් ගොණු කළ අභියාචනය අද(13) සලකා බැලුණා.

ඒ, අභියාචනය සලකා බැලීම සදහා ස්වාධීන විනිසුරුවරයෙකු ලෙස පත් කෙරුණු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු Faqir Muhammad Khokhar ඉදිරියේ දී යි.

අද දිනයේ දී දෙපාර්ශවයේම කරුණු විමසා බැලීම සිදු කළ බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කෙසේ වෙතත්, ඊට අදාළ තීන්දුව අද දිනයේ දී ප්‍රකාශයට පත් කර නැහැ.

ඒ අනුව ඉදිරි දිනකදී එම තීන්දුව ලබා දෙනු ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය පැවසුවේ.

මෙම අභියාචනය සලකා බැලීම පසුගිය ජූනි 11 වනදා සිදු කිරීමට මීට පෙර නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අභියාචනය සලකා බැලීම කල් දැමුණා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීමේ චෝදනා දෙකක් උමාර් අක්මාල්ට එරෙහිව එල්ල වී තිබූ අතර, ඒ අනුවයි ඔහුට වසර 3ක තරග තහනමක් පැනවුණේ.

එම තහනම මෙම සිද්ධියට අදාළව ඔහුට එරෙහිව පළමු වරට තාවකාලික තරග තහනමක් පැනවූ පසුගිය පෙබරවාරි 20 වනදා සිට ක්‍රියාත්මක වනු ඇති.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට අදාළව තරග පාවාදීම සදහා ඔහුට කෙරුණු යෝජනා පිළිබද තොරතුරු වාර්තා කිරීමට දෙවරක්ම අසමත් වීම උමාර් අක්මාල්ට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

Leave a comment