Watch : ඉන්දියාව අසරණ කරමින් T20 ලෝක ශූරතාවය දිනා ගන්න තිසර එල්ල කළ හයේ පහර

ශ්‍රී ලංකාව විස්සයි 20 ලෝක ශූරතාවය ජය ගෙන අදට වසර 10 ක් සපිරෙනවා.

2014 වසරේ අප්‍රේල් 6 වැනිදා, එනම් 2011 වසරේ අප්‍රේල් දෙවැනිදා එක්දින ලෝක ශූරතාවය ඉන්දියාව හමුවේ පරාජයට පත් වී වසර තුනකුත් දින 4 ක් ගත වූ පසුබිමක ශ්‍රී ලංකාව විසින් අසල්වැසි ඉන්දියාවම පරදා අද වැනි දිනක විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.

පන්දු 58 කින් විරාත් කෝලි ලකුණු 77 ක් ලබා ගනිමින් මීර්පූර්හි පැවැති අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිම ශක්තිමත් කළ නමුත්, අවසන් පන්දුවාර කිහිපයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැක් වූ සුවිශේෂී දක්ෂතාවය හමුවේ ඉන්දියාවට නියමිත පන්දුවාර 20 අවසානයේ දී ලබා ගත හැකි වූයේ කඩුලු 4 ක් දැවී ලකුණු 130 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ඉනිම නිමා වීමට පන්දු 13 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.

කුමාර් සංගක්කාර පන්දු 35 කින් නොදැවී ලකුණු 52 ක් රැස් කරමින් අවසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. තරගාවලියේ වීරයා බවට පත් වුණේ විරාත් කෝලි.

අවසන් තරගයේ දී තිසර පෙරේරා පන්දු 14 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 23 ක්. හයේ පහර 3කින් වර්ණවත් වූ ඔහුගේ ඉනිමට කිසිදු හතරේ පහරක් ඇතුළත් වූයේ නැහැ. එම සුවිශේෂී ඉනිම ද ශ්‍රී ලංකාවට විස්සයි 20 ලෝක ශූරතාවය පළමු වරට දිනා ගැනීමට විශාල දායකත්වය ලබා දුන් බව නොරහසක්.

වසර තුනකට පෙර එම් එස් දෝනි විසින් ශ්‍රී ලංකාවට එරෙහිව දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් එක්දින ලෝක ශූරතාවය ශ්‍රී ලංකාවෙන් උදුරා ගත් අයුරින්ම තිසර පෙරේරා ද ඉන්දියාවෙන් ලෝක විස්සයි 20 ශූරතාවය උදුරා ගත්තේ ආර් අශ්වින්ට එරෙහිව හයේ පහරක් එල්ල කරමින්.

Comments (0)
Add Comment