LPL තරග පාවාදීමට තැත් කළ සිද්ධියකට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අධිකරණයට කැදවයි

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දී වාර්තා වූ තරග පාවාදීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෙට (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට කැදවා තිබෙනවා.

ඒ, ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය කළ පැමිණිල්ලකට අනුවයි.

අදාළ සිද්ධියට සම්බන්ධ විමර්ශනවලට සහාය නොදැක්වීම හේතුවෙන් මෙම ක්‍රීඩකයා මෙලෙස අධිකරණය හමුවට කැදවීමට කටයුතු කර ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා.

එල්.පී.එල් තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුගෙන් මෙම සිද්ධිය පිළිබද මේ වන විටත් ප්‍රකාශ ලබා ගෙන ඇති බව ද එම පුවත්පත වාර්තා කළා.

හෙට අධිකරණය හමුවට කැදවා ඇති ක්‍රීඩකයා විසින් අදාළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනාට ඩුබායි නුවර සිට දුරකතන ඇමතුම් ලබා ගෙන තිබූ බවත්, පසුව ඒ සම්බන්ධයෙන් එම ක්‍රීඩකයින් දෙදෙනා බළධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබූ බවත් සදහන්.

ඒ අනුවයි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය සහ අයි.සී.සී දූෂන මර්දන ඒකකය මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

SRI LANKA NEWS
Comments (0)
Add Comment