IPL අදින් ඇරඹේ – කාලසටහන, විකාශන කටයුතු හා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගැන සියලු තොරතුරු මෙන්න

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද(22) ආරම්භ වනවා. මෙවර පැවැත්වෙන්නේ එහි 17 වැනි අදියරයි.

තරගාවලියේ පළමු තරගය පසුගිය අදියරේ දී මෙන්ම සමස්ථයක් ලෙස 5 වරක් අයි.පී.එල් ශූරතාවය දිනා ඇති චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගය චෙන්නායි හී දී අද රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සදහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ක්‍රීඩා කරන්නේ නව නායකත්වයක් යටතේයි. ඒ අනුව මෙතෙක් කණ්ඩායමේ නායකයා වූ එම් එස් දෝනි වෙනුවට රුටුරාජ් ගයික්වඩ් මෙවර අදියරේ දී චෙන්නායි කණ්ඩායම මෙහෙයවීමට නියමිතව තිබෙනවා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සුපුරුදු පරිදි ෆෆ් ඩු ප්ලෙසිස් විසින් මෙහෙයවනු ලබනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්

චෙන්නායි සංචිතය සදහා ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණ ඇතුළත්ව ඇතත්, බංග්ලාදේශ සංචාරයේ දෙවැනි විස්සයි 20 තරගයේ දී සිදු වූ පාදයක ආබාධයක් හේතුවෙන් මතීෂට මෙවර අයි.පී.එල් තරගාවලියේ පළමු තරග කිහිපය අහිමි වනු ඇති.

2024 අයි.පී.එල් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතව සිටි නමුත්, බංග්ලාදේශ තරග සංචාරයේ දී පාදයක ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට ද මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

මදුෂංක මෙවර අයි.පී.එල් තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 4.6 ක මුදලකට මුම්බායි කණ්ඩායම විසින් මිලදී ගැනීමට කටයුතු කළා. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 17 ක පමණ වටිනාකමක් යටතේයි.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ද ඉන්දීය රුපියල් කෝටි 4.80 ක මුදලක් යටතේ වෙන්දේසියේ දී මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කටයුතු කළා. වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටි 1.5 මුදලකට මිලදී ගත්තේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින්.

මීට මාසයකට පමණ පෙර දී වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වුණා. ඒ, ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකටයි.

විකාශන කටයුතු

තරගාවලියේ මෙරට නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගෙන ඇත්තේ සුප්‍රීම් TV නාලිකාව විසිනුයි. තරගාවලියේ විකාශන කටයුතු TNL නාලිකාව ඔස්සේ ද ප්‍රේක්ෂකයින් වෙත ගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා.

මෙවරත් තරගාවලියේ නිල රූපවාහිනී විකාශකයා ලෙස කටයුතු කරන්නේ Star Sports මාධ්‍ය ජාලයයි.

තරග කාලසටහන

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා මෙතෙක් නිවේදනය කර ඇත්තේ අර්ධ කාලසටහනක් පමණයි. ඉන්දීය මහමැතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර නොතිබූ බැවින් මාර්තු 22 වැනිදා සිට අප්‍රේල් 7 වැනිදා දක්වා වන තරගාවලියේ පළමු දින 17 ට අදාළ තරග කාලසටහන පමණක් එලෙස නිවේදනය කිරීමටයි පියවර ගෙන තිබුණේ.

නිවේදනය කර ඇති තරග කාලසටහනට තරග 21 ක් ඇතුළත්. එක් දිනකදී තරග දෙක බැගින් පැවැත්වෙන දින 4ක් ද තරග කාලටසහනට ඇතුළත් කර තිබෙනවා.

අයි.පී.එල් තරගාවලියට ඇතුළත් සමස්ත තරග සංඛ්‍යාව 74 ක්. තරගාවලියේ අවසන් මහා තරගය මැයි 26 වැනිදා පැවැත්වීමට නියමිත අතර, T20 ලෝක කුසලානය ආරම්භ වීමට එතැන් සිට ඉතිරිව ඇත්තේ දින පහක කාලයක් පමණයි.

තරග කාලසටහන –

 

Comments (0)
Add Comment