දෝනි චෙන්නායි සුපර් කිංග්ස් නායකත්වයට සමු දෙයි

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයෙන් මහේන්ද්‍ර සිං දෝනි ඉවත් වී තිබෙනවා.

ඒ අනුව හෙට(22) ආරම්භ වන මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී චෙන්නායි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ආරම්භක පිතිකරු රුටුරාජ් ගයික්වඩ්.

2008 වසරේ දී අයි.පී.එල් තරගාවලිය ආරම්භ වීමත් සමග චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දැරීම ආරම්භ කළ දෝනි 2022 වසරේ දී පමණක් තරග කිහිපයකදී නායකත්වය දැරුවේ නැහැ.

එම වසරේ දී දෝනි නායකත්වයෙන් ඉවත් වූ අතර, රවීන්ද්‍ර ජඩේජා නව නායකයා ලෙස පත් කෙරුණා. කෙසේ වෙතත්, තරග කිහිපයකින් පසුව ජඩේජා නායකත්වයෙන් ඉවත් වූ අතර, ඒ අනුව යළිත් නායකත්වයේ වගකීම දෝනිට පැවරුණා.

අනතුරුව 2023 වසරේ දී යළිත් අයි.පී.එල් ශූරතාවය දිනා ගැනීමට දෝනිගේ නායකත්වයෙන් CSK කණ්ඩායම සමත් වීම කැපී පෙනුණා.

ඒ අනුව දෝනිගේ නායකත්වය යටතේ චෙන්නායි පිල ජය ගත් අයි.පී.එල් ශූරතා ගණන පහක්.

දෝනි CSK කණ්ඩායමේ නායකයා ලෙස තරග 235 කදී (අයි.පී.එල් හා චැම්පියන්ස් ලීග්)  කටයුතු කර ඇති අතර, Champions League T20 ශූරතා දෙකක් ද එහිදී ජය ගැනීමට චෙන්නායි කණ්ඩායම සමත් වුණා.

2016 හා 2017 වසරේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට තහනමක් පැනවූ අවස්ථාවේ දී Rising Pune Supergiant කණ්ඩායමේ නායකයා ලෙස ද දෝනි තරග 14 කදී කටයුතු කළා.

ඒ අනුව අයි.පී.එල් තරග 226 කදී කණ්ඩායම්වල නායකත්වය දරා ඇති ඔහු අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් නායකයා ලෙස කටයුතු කළ ක්‍රීඩකයා ද වනවා.

නව නායකයා ලෙස පත් කෙරුණු රුටුරාජ් ගයික්වඩ් 2020 වසරේ සිට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන අතර, ඔහු මේ දක්වා චෙන්නායි කණ්ඩායම නියෝජනය කරමින් තරග 52 ක් ක්‍රීඩා කර තිබෙනවා.

Comments (0)
Add Comment