ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ දී සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ දග පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සංචිතයෙන් නිදහස් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ටෙස්ට් සංචිතය සදහා ක්‍රීඩකයින් තිදෙනෙකු කැදවීමට ද පියවර ගෙන තිබීම විශේෂත්වයක්.
ඒ අනුව මහීෂ් තීක්ෂණ, ලක්ෂිත මනසිංහ හා දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයින් සංචිතයට නම් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
ඔවුන් ඊයේ(4) දිනයේ දී සංචිතය සමග එක්ව ඇති බව ද ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
මේ අතර, ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ඊයේ හදුනා ගැනුණා.
ඔහු මේ වන විට දින පහක කාලයක් හුදෙකලා කර ඇති බැවින් ඔහුට ද දෙවැනි ටෙස්ට් තරගය අහිමි වනු ඇති.
පළමු ටෙස්ට් තරගය අතරතුර දී මැදපෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ට ද කොවිඩ් 19 ආසාදනය වුණා.
දෙරට අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය එළඹෙන 8 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.