“මම තාක්ෂණික වෙනස්කම් දෙක තුනක් කරා” – තිරිමාන්න

බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය පුරා පිතිකරණයේ නිරත වීම තම කණ්ඩායමේ අරමුණ බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න පවසනවා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය(23) අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු ඒ බව සදහන් කළා.

කෙසේ වුවත්, මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වනු ඇති බවටයි ඔහු විශ්වාසය පල කරන්නේ.

තමා සහ දිමුත් කරුණාරත්න වයස අවුරු 15න් පහල සිට එක්ව ක්‍රීඩා කරන බැවින් දෙදෙනාට දෙදෙනා පිළිබද හොද අවබෝධයක් පවතින බව ද තිරිමාන්න මෙහිදී අවධාරණය කළා.

නවක පිතිකරුවන් කණ්ඩායමේ සිටින බැවින් තමා සහ දිමුත්ගේ වගකීම වී ඇත්තේ එම ක්‍රීඩකයින්ට පීඩනයකින් තොරව පිතිකරණයේ නිරත වීමට හැකි පදනමක් ඉනිමට ලබා දීම බවයි ඔහු සදහන් කළේ.

මේ අතර, ළහිරු තිරිමාන්න පසුගිය තරග කිහිපයේ දී ම අඛණ්ඩව ලකුණු අතරට පිවිසීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ තවත් පැනයකට පිළිතුරු ලබා දෙමින් තිරිමාන්න කියා සිටියේ තමා තාක්ෂණික අංශයෙන් වෙනස්කම් කිහිපයක් මේ වන විට සිදු කර ඇති බවයි.

Comments (0)
Add Comment