ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ වෙනස් වෙයි

අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පිතිකරණ අංශයේ පෙරමුණ හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ මර්නස් ලබුෂේන් සමත්ව තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ලබුෂේන් පළමු ඉනිමේ දී ද්විත්ව ශතකයක් හා දෙවැනි ඉනිමේ දී ශතකයක් වාර්තා කිරීම හේතුවෙනුයි ඔහු මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පැමිණ ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් ද මේ වන විට දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

පාකිස්තානයේ බාබර් අසාම් තෙවැනි ස්ථානයේ රැදී සිටින අතර, මෙතෙක් පළමු ස්ථානය හිමි කර ගෙන සිටි එංගලන්තයේ ජෝ රූට් මේ වන විට රැදී සිටින්නේ සිව්වැනි ස්ථානයේ යි.

මේ අතර, පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පස්වැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් සමත්ව තිබෙනවා.

එංගලන්තයේ ඔලී රොබින්සන් 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 7 කින්.

එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් ඉදිරියට පැමිණීමට ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් සමත්ව තිබෙනවා.