චමරිගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබයි

Match Report

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග ඉසව්ව සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(24) සමත් වුණා.

ඒ, ඊට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වීමත් සමගයි.

කණ්ඩායම් 5ක් තරග වැදුණු සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ අවසන් තරගය අද(24) බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවැත්වුණා.

එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජය වාර්තා කළේ ලකුණු 22කින්.

මැලේසියාවේ ක්වාලා ලම්පූර් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 136ක් රැස් කළා.

නායිකා චමරි අතපත්තු ලකුණු 48කට දැවී ගියේ පන්දු 28කට මුහුණ දෙමින්. හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් ඇයගේ ඉනිමට ඇතුළත්.

නිලක්ෂි ද සිල්වා ලකුණු 28ක් හා අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු 20ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 114ක් පමණයි.

පන්දු යැවිමේ දී චමරි අතපත්තු ලකුණු 17කට කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමින් තරගාවලිය අවසන් කළේ සහභාගී වූ තරග හතරම ජය ගනිමින්.

ශ්‍රී ලංකාව හමුවේ පමණක් පරාජයට පත් වූ බංග්ලාදේශය ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමි කර ගත් නමුත්, ඔවුන්ට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළක් සදහා ක්‍රිකට් ක්‍රීඩාව මෙලෙස ඇතුළත් වන්නේ ඉතිහාසයේ දෙවැනි වරට වීම විශේෂත්වයක්.

පළමු වරට 1998 වසරේ දී පිරිමි කණ්ඩායම් පමණක් සහභාගී කර ගනිමින් එක්දින තරග ඉසව්වක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සදහා ඇතුළත් කර තිබුණා. එහි ජය වාර්තා කළේ දකුණු අප්‍රිකාවයි.

කෙසේ වෙතත්, 2022 බර්මිංහැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සදහා ඇතුළත්ව ඇත්තේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වක් පමණයි.

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ජූලි 28 වනදා සිට අගෝස්තු 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

එහි කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග ඉසව්ව සදහා සුදුසුකම් ලබා ගත් සෙසු රටවල් වන්නේ සත්කාරක එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව හා බාර්බඩෝස් යන කණ්ඩායම්.

Comments (0)
Add Comment