ක්‍රිස් ගේල් CPL පිටියෙන් ඉවත් වෙයි

2020 සී.පී.එල් හෙවත් කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට සුපිරි කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් තීරණය කර තිබෙනවා.

ඒ, පෞද්ගලික හේතුවක් පදනම් කර ගනිමින්.

ඔහු ඒ සම්බන්ධයෙන් සිය කණ්ඩායම වන ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායමේ කළමණාකාරීත්වය දැනුවත් කර ඇති බව සදහන්.

මෙවර තරගාවලියට අදාළ ක්‍රීඩක තෝරා ගැනීමේ ක්‍රියාවලියට (draft) (ජූනි 24 වනදා) දිනක් ඉතිරිව තිබියදී  ඔහු මෙම තීරණය දැනුම් දීම විශේෂත්වයක්.

ක්‍රිස් ගේල් මෙවර ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබුණ ද 2019 වසරේ දී ඔහු ක්‍රීඩා කළේ ජැමයිකා තලවාස් කණ්ඩායම වෙනුවෙනුයි.

ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායම වෙත විද්‍යුත් පණිවිඩයක් යොමු කරමින් ක්‍රිස් ගේල් පෙන්වා දී ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් සිදු කෙරුණු රටවල් වසා දැමීමේ ක්‍රියාවලියත් සමග ඔහුට පසුගිය කාලයේ දී සිය පවුලේ සාමාජිකයින් සමග එක්ව කාලය ගත කිරීමට නොහැකි වූ බවයි.

ඒ අනුව ඉදිරියේ දී සිය පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීමේ අරමුණින් තමන් මෙවර තරගාවලියට එක් නොවීමට තීරණය කළේ යැයි ක්‍රිස් ගේල් සදහන් කර තිබෙනවා.

2020 කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 18 වනදා සිට සැප්තැම්බර් 10 වනදා දක්වා ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබෑගෝ හී දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

Comments (0)
Add Comment