අවසන් පන්දුවේ දී සිදු වූ දුවද්දී දැවී යාම හමුවේ කොමිලා කණ්ඩායම BPL ශූරතාවය දිනයි

Match Report

තියුණු තරගයකින් පසුව එක් ලකුණක ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Comilla Victorians කණ්ඩායම අද (18) සමත්වුණා.

වික්ටෝරියන්ස් කණ්ඩායම හමුවේ අවසන් තරගය පරාජයට පත් වෙමින් මෙවර තරගාවලියේ අනුශූරයන් බවට පත්වුණේ ශකීබ් අල් හසාන් නායකත්වය දැරූ Fortune Barishal කණ්ඩායමයි.

මීර්පූර් හි ශෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ පැවති අවසන් මහා තරගයේ තීරණාත්මක කාසියේ වාසිය දිනා ගැනීමට Comilla කණ්ඩායමේ නායක ඉම්රුල් කෙයිස් සමත් වූ අතර, ඔහු පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි Comilla Victorians කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 151 ක්.

ආරම්භක පිතිකරු සුනිල් නරේන් ප්‍රතිවාදී පන්දු යවන්නන් හට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් පන්දු 23 කදී ලකුණු 57 ක් රැස්කර ගැනීමට සමත් වුණා.

ඔහු අර්ධ ශතකය පන්දු 21 කදී වාර්තා කිරීම විශේෂත්වයක්. නරේන්ගේ මෙම ඉනිමට හයේ පහරවල් 5 ක් සහ හතරේ පහරවල් 5 ක් ඇතුළත්.

මෝයීන් අලී පන්දු 32 කදී ලකුණු 38 ක් ලබා සිටියදි දුවද්දී දැවී ගියා. අබු හයිදර් ලකුණු 19(27) යි. ෆෆ් ඩු ප්ලෙසීස් හට රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 4 ක් පමණයි.

පන්දු යැවීමේදී මුජීබ් උර් රෙහෙමාන් සහ ෂෆිකුල් ඉස්ලාම් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ශකීබ් අල් හසන්, ඩ්වේයන් බ්‍රාවෝ සහ මෙහෙදි හසාන් රානා එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වුණා.

ලකුණු 152 ක ජයග්‍රහාහී ඉලක්කයක් හඹා ගිය Fortune Barishal කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුනු 150 ක් පමණයි.

සටන්කාමී ඉනිමක් දියත් කළ ශයිකට් අලී පන්දු 34 කදී ලකුණු 58 ක් රැස්කළා.

ක්‍රිස් ගේල් ලකුණු 33(31) යි. නායක ශකීබ් අල් හසාන් හට ලබා ගත හැකි වූයේ ලකුණු 7 ක් පමණයි.

ඉනිමේ අවසන් පන්දුවේදී ජයග්‍රහණය සදහා Fortune Barishal කණ්ඩායමට ලකුණු 3 ක් අවශ්‍ය වුණා.

එම පන්දුවට මුහුණ දුන් Towhid Hridoy එක්ස්ට්‍රා කවර් කලාපය දෙසට පහරක් එල්ල කරමින්, අවශ්‍ය වූ ලකුණු 3න් අවම වශයෙන් ලකුණු 2ක් හෝ ලබා ගනිමින් තරගය සුපිරි පන්දුවාරයක් කරා රැගෙන යාමට දැරූ උත්සාය ව්‍යර්ථ වුණේ මුජිබ් රෙහ්මාන් දුවද්දී දවා ගැනීමට Victorians කණ්ඩායම සමත් වීමත් සමගයි.

ඒ අනුව තෙවැනි වරටත් BPL ශූරතාවය Comilla Victorians කණ්ඩායම සතු වුණා.

පන්දු යැවීමෙදී සුනිල් නරේන් ලකුණු 15 කට කඩුලු 2 ක් බිඳ හෙලුවා. තන්වීර් ඉස්ලාම් ද කඩුලු 2 ක් දවා ගත්තා.

මුස්ටර්ෆිසුර් රෙහ්මාන් සහ ශොහිඩුල් ඉස්ලාම් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

අවසන් මහා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ සුපිරි තුන් ඉරියව් දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ සුනිල් නරේන්.

Comments (0)
Add Comment