Ultimate magazine theme for WordPress.

Watch : මමයි නායකයා, ඔබ මගෙන් විමසිය යුතුයි : බාබර්ගෙන් නොවිමසා විනිසුරු කරපු දේ

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට(11) ඩුබායි හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අවසන් තරගය සදහා ශ්‍රී ලංකාව හා පාකිස්තානය සුදුසුකම් ලබා ඇති අතර, තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ සුපිරි 4 වටයේ අවසන් තරග දෙක පැවැත්වීමටත් පෙර අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව හා පාකිස්තානය සුදුසුකම් ලබා සිටියා.

කෙසේ වෙතත්, සුපිරි 4 වටයට අයත් ඉන්දියාව හා ඇෆ්ඝනිස්තානය අතර තරගයත්, ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගයත් පසුගිය දින දෙකේ දී පැවැත්වුණා.

ඊයේ දිනයේ පැවැති ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ අතර, මෙම තරගයේ දී ශ්‍රී ලංකා දග පන්දු යවන්නන් දැක් වූ දක්ෂතා ඉතා ඉහළ මට්ටමක පැවතුණා.

තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට ලකුණු 122 ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී පසු කර ගියා.

ශ්‍රී ලංකා ඉනිමේ 16 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී වූ සුවිශේෂී සිදු වීමක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

එම පන්දුවාරය හසන් අලී විසින් යොමු කළ අතර, අදාළ පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී දසුන් ශානකගේ පිත්තේ පන්දුව වැදී උඩ පන්දුවක් ලෙස තමා අතට පන්දුව ආ බවට මොහමඩ් රිස්වාන් විසින් ප්‍රබල ඉල්ලීමක් විනිසුරුගෙන් සිදු කරනු ලැබුවා.

කෙසේ වෙතත්, පන්දුව පිත්තේ නොවැදුණු බවත්, එබැවින් එය දැවී යාමක් නොවන බවත් විනිසුරුගේ මතය බවට පත්ව තිබුණා.

එම අවස්ථාවේ දී රිස්වාන් විසින් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (review) ඔස්සේ අදාළ තීරණය අභියෝගයට ලක් කළ යුතු බවට යෝජනා කරනු ලැබුවා.

එවැනි අවස්ථාවක විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යොදා ගන්නවා ද යන්න අවසන් තීරණය ගත යුතු වන්නේ පන්දු රකින කණ්ඩායමේ නායකයා විසින්.

කෙසේ වෙතත්, විනිසුරු විසින් නායක බාබර් අසාම්ගෙන් විමසීමක් සිදු නොකර, දසුන් ශානක දැවී ගිය අයෙකුදැයි තීරණය කිරීම සදහා එම අවස්ථාව තෙවන විනිසුරු වෙත යොමු කරනු ලැබුවා.

එහිදී මවිතයට පත් වූ බාබර් අසාම් ‘මමයි නායකයා, ඔබ මගෙන් විමසිය යුතුයි’ යනුවෙන් මෙන් විනිසුරු වෙත පවසන ආකාරයක් දැකගත හැකි වුණා.

දර්ශන පහතින් නරඹන්න –

Leave a comment