Ultimate magazine theme for WordPress.

අවිශ්කගේ උඩ පන්දුව ගිලිහී ගියත් දැවී යාමක් ලෙස සංඥා වූ හැටි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගවලින් හරි අඩක් මේ වන විට පවත්වා අවසන්.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වී ඇත්තේ සහභාගී වූ තරග හතරම ජය ගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමයි.

දෙවන ස්ථානය දඹුල්ල වයිකින්ග් කණ්ඩායමටත්, තෙවැනි ස්ථානය කලම්බු කිංග්ස් කණ්ඩායමටත් හිමිව තිබෙනවා.

මෙවර තරගාවලියේ දී ක්‍රීඩකයින් මෙතෙක් දැක් වූ දක්ෂතා පිළිබද සලකා බැලීමේ දී පන්දු රැකීම අතින් ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා පිළිබද කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව බොහෝ දෙනෙකු දරන මතයක්.

එහි ආසන්නතම සිදු වීම ඊයේ(3) දැක ගත හැකි වූයේ ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැති තරගයේ දී යි.

එහිදී ගාලු කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක අසාම් ඛාන් අතින් ඉතා පහසු උඩ පන්දුවක් ගිලිහී ගියා.

ධනංජය ලක්ෂාන් යොමු කළ පන්දුවක් හමුවේ අවිශ්ක ප්‍රනාන්දු ලබා දුන් පහසු උඩ පන්දුවක් මෙලෙස ඔහු අතින් ගිලිහී නමුත්, එම පන්දුවාරයේ අවසන් පන්දුවේ දී අවිශ්කව දවා ගැනීමට ධනංජය ලක්ෂාන් සමත් වුණා.

අදාළ උඩ පන්දුව ගිලිහී යාමේ අවස්ථාවේ දී සිදු වූ තවත් විශේෂිත සිදුවීමක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.

ඒ, එම උඩ පන්දුව ගිලිහී ගිය ද පිටියේ විනිසුරු විසින් අවිශ්ක ප්‍රනාන්දු දැවී ගිය පිතිකරුවෙකු ලෙස වැරදීමකින් සංඥා කිරීමයි.

අසාම් ඛාන් විසින් අදාළ උඩ පන්දුව පහසුවෙන් රැක ගත් බවට අනුමාන කරමිනුයි විනිසුරුවරයා විසින් අවිශ්ක දැවී ගිය පිතිකරුවෙකු ලෙස එලෙස සංඥා කළේ.

කෙසේ වෙතත්, පසුව අසාම් ඛාන්ට උඩ පන්දුව ගිලිහී ගිය බව අවබෝධ වීමත් සමග විනිසුරුවරයා තම වරද වෙනුවෙන් සිනහවකින් ප්‍රතිචාර දක්වා සිටියා. (දර්ශන පහතින්)

Leave a comment