Ultimate magazine theme for WordPress.

කෝලි 5 වැනි වරටත් පිටියට ආ සැණින් යළි ක්‍රීඩාගාරයට හරවා යැවූ ඇන්ඩර්සන්ගේ සුපිරි පන්දුව

පස්වැනි වරටත් තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ටෙස්ට් තරගයකදී දැවී යාමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක සුපිරි පිතිකරු විරාට් කෝලිට අද(5) සිදු වුණා.

ඒ, එංගලන්තය සමග පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවන දිනයේ දී යි.

නොටින්හැම්හි ට්‍රෙන්ට් බ්‍රිඩ්ජ් හි පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 183 ක් පමණයි.

අනතුරුව පළමු ඉනිම ආරම්භ කළ ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට රෝහිට් ෂර්මා සහ කේ.එල්. රාහුල් සමත්වුණා.

ලකුණු පුවරුව 97 ක්ව තිබියදී ලකුණු 36 ක් ලබා සිටි රෝහිට් ෂර්මා දවා ගැනීමට ඔලී රොබින්සන් සමත්වුණා.

ඒ, රොබින්සන් යොමු කළ කෙටි පන්දුවකට සෑම් කරන් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

බොහෝ ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුවක් වූ චෙටස්වර් පුජාරාට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 4 ක් පමණයි.

ජේම්ස් ඇන්ඩර්සන් යොමු කළ පන්දුවකට ජොස් බට්ලර් අතට උඩපන්දුවක් ලබා දීමෙනුයි ඔහු දැවී ගියේ.

අනතුරුව අංක 4 පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඉන්දීය නායක විරාට් කෝලි පළමු පන්දුවෙන්ම දවා ගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත් වුණේ පිට පිට කඩුලු 2 ක් දවා ගනිමින්.

කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් ලබා දෙමින් කෝලි දැවී ගියා.

මීට පෙර කෝලි ඔස්ට්‍රේලියාවට එරෙහිව Ben Hilfenhaus යොමු කළ පන්දුවක් හමුවේ 2011/12 තරග සමයේ දී ද, එංගලන්තයට එරෙහිව ලියම් ප්ලන්කට් යොමු කළ පන්දුවකට 2014 වසරේ දී ද, එංගලන්තයේම ස්ටුවට් බ්‍රෝඩ් යොමු කළ පන්දුවක් හමුවේ 2018 වසරේ දී ද, බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි කෙමාර් රෝච් යොමු කළ පන්දුවක් හමුවේ 2019 වසරේ දී ද, පළමු පන්දුවෙන්ම දැවී ගොස් තිබුණා.

මෙය විරාට් කෝලි ලකුණු නොලබා ජාත්‍යන්තර තරගයකදී දැවී ගිය 29 වන අවස්ථාවයි.(ටෙස්ට් : 13, එක්දින : 13, T 20 : 3)

2020 ජනවාරි මාසයේ සිට මේ දක්වා ඔහුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය සටහන් වන්නේ 23ක් ලෙස වීම ද විශේෂත්වයක්.

කෝලි අවසන් ඉනිම් 47 තුළ දී ජාත්‍යන්තර ශතකයක් ද වාර්තා කර නැහැ.

Leave a comment