Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව තරග වදින ඉතිහාසයේ දීර්ඝතම T 20 තරගාවලිය ඉන්දියාවට එරෙහිව

ශ්‍රී ලංකා සංචාරය තහවුරු කරමින් ගංගුලිගෙන් ප්‍රකාශයක්

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය තහවුරු කරමින් එරට ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි අද(9) ප්‍රකාශයක් සිදු කළා.

ඒ, ඉන්දීය මාධ්‍යයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීයි.

මෙවර අතරගමදී අත්හිටුවීමට සිදු වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීම සම්බන්ධයෙන් යොමු කෙරුණු පැනයකට පිළිතුරු දෙමින් ඔහු ශ්‍රී ලංකා සංචාරය ගැන අදහස් පල කළා.

අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග ඉන්දියාවේ දී පැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි ගංගුලි මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර ජූනි 18 වනදා සිට 22 වනදා දක්වා එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත අතර, අනතුරුව අගෝස්තු මාසයේ දී ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග ජූලි මාසයේ දී, එනම් ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයෙන් පසුව සහ ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලියට පෙර එංගලන්තයේ දී පවත්වන්නේ දැයි සෞරව් ගංගුලිගෙන් විමසූ අවස්ථාවේ දී ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.

“නැහැ. ඉන්දියාව එක්දින තරග 3කට සහ 20යි 20 තරග 5කට ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා සංචාරයක නිරත වෙන්න නියමිතව තියෙනවා. දින 14ක නිරෝධායන කාලය වගේ සංවිධානාත්මක ගැටලු ගොඩක් තියෙනවා. අයි.පී.එල් තරගාවලිය ඉන්දියාවේ දී පවත්වන්න බැහැ. මේ නිරෝධායනය පාලනය කරන්න අමාරුයි. අයි.පී.එල් තරගාවලිය සම්පූර්ණ කරන්න කොහොමද අපි අවස්ථාවක් හොයා ගන්නේ කියලා කියන්න තාම කල් වැඩියි”

20යි 20 තරග 5ක් දෙරට අතර පැවැත්වීමට කටයුතු කෙරුණහොත්, ශ්‍රී ලංකා කණ්ඩායම 20යි 20 ඉතිහාසයේ දී ක්‍රීඩා කරන දීර්ඝතම ද්විපාර්ශ්වික තරගාවලිය බවට එය පත් වනු ඇති.

පසුගිය වසරේ දී ද ඉන්දීය කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතව තිබූ අතර, එහිදී දෙරට අතර එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, කොරෝනා වසංගතය හේතුවෙන් එය අවලංගු කිරීමටයි තීරණය කෙරුණේ.

Leave a comment