Ultimate magazine theme for WordPress.

යුරෝපා කුසලානයෙන් පෘතුගාලය ඉවතට විසි වීමෙන් පසු රොනාල්ඩෝගෙන් සිය අනාගතය ගැන ඉගියක්

තමා තවදුරටත් ජාත්‍යන්තර පාපන්දු පිටියේ රැදී සිටිමින් පෘතුගාල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බවට පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉගි පල කර තිබෙනවා.

2024 යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ප්‍රංශය හමුවේ දඩුවම් පහර 5-3 ක් ලෙස පෘතුගාලය පරාජයට පත් වීමත් සමග ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර, ඒ අනුව මෙය පෘතුගාල නායක රොනාල්ඩෝ ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර තරගාවලිය බවට පත් වීමට ඉඩ ඇති බවටයි බොහෝ දෙනෙකු මත පල කර තිබුණේ.

කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කරමින් රොනාල්ඩෝ ඉගි පල කර ඇත්තේ තමන් ජාත්‍යන්තර පිටියට සමු දීමට තවමත් සූදානම් නොමැති බවයි.

“We wanted more. We deserved more. For us. For each one of you. For Portugal.” යනුවෙන් රොනාල්ඩෝ සදහන් කළා.

“We are grateful for everything you have given us and for everything we have achieved so far. On and off the field, I am sure that this legacy will be honoured and will continue to be built. Together.”

මෙවර ජර්මනියේ දී පැවැත්වෙන යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ දී පෘතුගාලය තරග පහක් ක්‍රීඩා කළ අතර, එම තරග පහේ දී ම නියමිත කාලයේ දී හා අතිරේක කාලයේ දී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට රොනාල්ඩෝ සමත් වූයේ නැහැ.

සිය ජාත්‍යන්තර පාපන්දු දිවියේ දී ඔහු එලෙස ප්‍රධාන තරගාවලියකදී කිසිදු ගෝලයක් වාර්තා නොකළ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

මේ අතර, තරගාවලියෙන් ඉවත් වීමෙන් පසුව පෘතුගාල පුහුණුකරු Roberto Martínez සදහන් කළේ රොනාල්ඩෝ සිය රට වෙනුවෙන් අවසන් තරගය ක්‍රීඩා කළා දැයි පැවසීමට තවමත් කාලය ඉක්මන් වැඩි බවයි.

2003 වසරේ දී ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ වන විට 39 වන වියේ පසුවන අතර, ඔහු පෘතුගාලය වෙනුවෙන් තරග 212 කදී ගෝල 130 ක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

2016 වසරේ පැවැති යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ද පෘතුගාල කණ්ඩායම සමග රොනාල්ඩෝ සමත් වුණා.

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු ගන්නා බවට මෙතෙක් නිවේදනය කර නැතත්, මෙය තමන් ක්‍රීඩා කරන අවසන් යුරෝපා කුසලාන පාපන්දු තරගාවලිය බව මීට පෙර රොනාල්ඩෝ විසින් තහවුරු කර තිබුණා.

ඔහු තවදුරටත් ජාත්‍යන්තර පාපන්දු පිටියේ රැදී සිටියහොත් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ඔහු ක්‍රීඩා කරන අවසන් ජාත්‍යන්තර තරගාවලිය බවට පත් වීමට ඉඩ තිබෙනවා.

Leave a comment