Ultimate magazine theme for WordPress.

WPL කණ්ඩායමක් සදහා ඉහළම ලංසුව අදානි සමාගමෙන් ; කණ්ඩායම් පහේ වටිනාකම් මෙන්න

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (Women’s Premier League) (WPL) (කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලිග්) ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් මිලදී ගැනීම සදහා ඉදිරිපත් වූ ඉහළම ලංසු මුදල Adani Sportsline Pvt. Ltd සමාගම විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය රුපියල් කෝටි 1,289 ලංසු මුදලක් යටතේ ඔවුන් අහ්මදාබාද් කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගෙන ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

තරගාවලියට එක්වන සෙසු කණ්ඩායම් කේන්ද්‍ර කර ගෙන ඇති නගර වන්නේ මුම්බායි, බැංගලූරු, දිල්ලි හා ලක්නව් යන නගරයි.

මුම්බායි, බැංගලූරු හා දිල්ලි යන කණ්ඩායම්වල හිමිකාරීත්වය ලබා ගත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය ලබා ගෙන ඇති සමාගම් විසින් වීම ද විශේෂත්වයක්.

Indiawin Sports Pvt. Ltd සමාගම විසින් මුම්බායි කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගෙන ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 912.99 ක ලංසු මිලක් යටතේයි.

බැංගලූරු කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය රුපියල් කෝටි 901 කට Royal Challengers Sports Pvt. Ltd සමාගම විසින් අත්පත් කර ගත්තා.

දිල්ලි කණ්ඩායමේ හිමිකාරීත්වය JSW GMR Cricket Pvt. Ltd සමාගම විසින් අත්පත් කර ගෙන තිබෙනවා. ඒ, ඉන්දීය රුපියල් කෝටි 810 ක ලංසු මුදලක් යටතේයි.

Capri Global Holdings Pvt. Ltd සමාගම විසින් ලක්නව් කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගෙන ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 757 ක ලංසු මිලක් ඉදිරිපත් කරමින්.

ඒ අනුව කණ්ඩායම් අලෙවි කිරීම වෙනුවෙන් මුම්බායි හී දී අද පැවැති වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 4,669 ක මුදලක් උපයා ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමත්ව තිබෙනවා.

තරගාවලියේ පළමු අදියර එළඹෙන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර ක්‍රීඩිකාවන් මිලදී ගැනීම සදහා වන වෙන්දේසියක් ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු වසර 5 ක කාලය සදහා රූපවාහිනී විකාශන අයිතිය ඉන්දීය රුපියල් කෝටි 951 ක ලංසුවක් යටතේ මිලදී ගැනීමට Viacom 18 සමාගම පසුගියදා සමත් වුණා.

ඒ අනුව එක් තරගයක විකාශන වටිනාකම සටහන් වන්නේ ඉන්දීය රුපියල් කෝටි 7.09 ක් ලෙසයි.