Ultimate magazine theme for WordPress.

Watch : පන්දුවාරයකට වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණයේ ලෝක වාර්තාව බුම්රාට හිමි වූ හැටි

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දී ටෙස්ට් තරගයක එක් පන්දුවාරයකදී ලබා දුන් ඉහළම ලකුණු සංඛ්‍යාව ලබා දෙමින් කනගාටුදායක නව ලෝක වාර්තාවක් ඉදිරියේ සිය නම සටහන් කර ගැනීමට එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ්ට අද සිදු වුණා.

ඒ, ඉන්දියාව සමග බර්මිංහැම් හී දී පැවැත්වෙන 5 වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී යි.

ඉන්දීය පළමු ඉනිමේ 84 වැනි පන්දුවාරය ස්ටුවට් බ්‍රෝඩ් විසින් යොමු කළ අතර, එම පන්දුවාරයට මුහුණ දුන්නේ ඉන්දීය නායක ජස්ප්‍රිට් බුම්රා.

මෙම පන්දුවාරයේ දී වාර්තා වූ ලකුණු ප්‍රමාණය 35ක්.

එම පන්දුවාරයේ පළමු පන්දුවට හතරේ පහරක් එල්ල කිරීමට බුම්රා සමත් වුණා. දෙවැනි පන්දුව වයිඩ් පන්දුවක් වූ අතර, එය හතරේ සීමාව ද ඉක්මවා ගිය බැවින් ලකුණු 5ක් ඉන්දියාවට හිමි වුණා.

ඊළග පන්දුව නිපන්දුවක් ලෙස විනිසුරු සටහන් කළ අතර, ඊට හයේ පහරක් එල්ල කිරීමට ද බුම්රා සමත් වුණා. ඒ අනුව එම පන්දුවාරයේ එක් නීත්‍යානුකූල පන්දුවක් අවසන් වන විට ලකුණු 16ක් උදුරා ගැනීමට ඉන්දියාව සමත් වීම කැපී පෙනුණා.

බ්‍රෝඩ් යොමු කළ එම පන්දුවාරයේ අවසන් පන්දු 5ට පිළිවෙලින් ලකුණු 4, 4, 4, 6 හා 1 රැස් කිරීමට බුම්රා සමත් වුණා.

ඒ අනුව ටෙස්ට් ඉතිහාසයේ එක් පන්දුවාරයකදී වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව බුම්රාගේ නම ඉදිරියෙන් සටහන් වුණා.

මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා එක් පන්දුවාරයකදී ලකුණු 28ක් වාර්තා කරමින් මෙම ලෝක වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

ඒ, 2003 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදීයි.

20යි 20 ජාත්‍යන්තර තරගයක පන්දුවාරයකදී වාර්තා වූ සම ඉහළම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 36ක ප්‍රමාණය ද ස්ටුවට් බ්‍රෝඩ්ගේ පන්දුවාරයකදී වාර්තා වී තිබීම විශේෂත්වයක්.

2007 වසරේ දී ඉන්දීය හිටපු පිතිකරු යුවරාජ් සිං විසිනුයි එම ලෝක වාර්තාව පිහිටුවනු ලැබුවේ.

Leave a comment