Ultimate magazine theme for WordPress.

Watch : ස්ටක්ගේ ආන්දෝලනාත්මක උඩ පන්දුව මෙන්න ; MCC කරුණු පහදයි

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ(1) දිනයේ දී මිචෙල් ස්ටක් විසින් රැක ගත් ආන්දෝලනයට තුඩුදුන් උඩ පන්දුව සම්බන්ධයෙන් ක්‍රිකට් නීති භාරකරු ලෙස සැලකෙන මාරිලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) මේ වන විට අදහස් දක්වා තිබෙනවා.

එම සමාජය පෙන්වා දෙන්නේ මෙම උඩ පන්දුව සම්බන්ධයෙන් විනිසුරුවන් ලබා දුන් තීන්දුව නිවැරැදි බවයි.

උඩ පන්දුවක් රැක ගෙන සම්පූර්ණ වන්නේ පන්දුව හා පන්දු රකින්නාගේ චලනයන් සම්පූර්ණයෙන්ම පන්දු රකින්නා විසින් පාලනය කළහොත් පමණක් බව MCC ය සදහන් කර තිබෙනවා.

ඒ අනුව පන්දුව හා පන්දු රකින්නාගේ චලනයන් සම්පූර්ණයෙන් පාලනය වනතුරු පන්දුව ක්‍රීඩාංගනයේ ස්පර්ශ වීම සිදු නොවිය යුතුයි.

මෙම සිද්ධියේ දී ද මිචෙල් ස්ටක්ගේ චලනයන් සම්පූර්ණයෙන් පාලනය වීමට පෙර පන්දුව බිම ස්පර්ශ වන බවත්, එබැවින් එය නොදැවී යාමක් බවත් මාරිලිබෝන් ක්‍රිකට් සමාජය පෙන්වා දෙනවා.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ සිව්වැනි දිනය අවසන් වීමට සුළු වේලාවකට පෙර මෙම ආන්දෝලනයට තුඩු දුන් විනිසුරු තීරණය ලබා දුන්නේ එංගලන්ත පිතිකරු බෙන් ඩකට් එල්ල කළ පහරකින් පසුව ස්ටක් fine leg කලාපයේ සිට රැකගත් උඩ පන්දුවක් සම්බන්ධයෙනුයි.

ඒ වන විට බෙන් ඩකට් ලකුණු 50 ක් ලබා කඩුල්ලේ රැදී සිටියා. පළමුව උඩ පන්දුව රැක ගත් බවට තීරණය කර තිබූ නමුත්, පුනරූපනවලින් පන්දුව ක්‍රීඩාංගනයේ ස්පර්ශ වන බව දක්නට ලැබීමත් සමගයි තෙවන විනිසුරු විසින් එය නොදැවී යාමක් ලෙස නම් කරනු ලැබුවේ.

දිනය අවසන් කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 371 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 114 ක්.

අදාළ උඩ පන්දුවේ දර්ශන පහතින් –