Ultimate magazine theme for WordPress.

Watch : පන්දුව අතින් අල්ලා දැවී ගිය පළමු බංග්ලාදේශ පිතිකරු බවට රහීම් පත් වෙයි

පන්දුව අතින් ස්පර්ශ කිරීමේ වරද නිසා ටෙස්ට් ඉතිහාසයේ දී දැවී ගිය පළමු බංග්ලාදේශ පිතිකරු බවට පත් වීමට මැදපෙල පිතිකරු මුෂ්ෆිකර් රහීම්ට අද (6) සිදු වුණා.

නවසීලන්තය සමග අද මීර්පූර් හී දී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී යි ඔහු මෙලෙස අවාසනාවන්ත ලෙස දැවී ගියේ.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

බංග්ලාදේශ පළමු ඉනිමේ 41 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී ක්යිල් ජමීසන් යොමු කළ පන්දුවට රහීම් විසින් ආරක්ෂිත පරහක් එල්ල කරනු ලැබුවා.

කෙසේ වෙතත්, පහර එල්ල කිරීමත් සමගම ඔහු පිත්ත රදවා ගෙන නොසිටින අතින් පන්දුව ස්පර්ශ කරමින් පන්දුවේ ගමන් මග සිතා මතාම වෙනස් කරනු ලැබුවා.

ඒ අනුව පන්දු රකින්නන් කළ ඉල්ලීමකින් පසුව පන්දු රැකීමට බාධා කිරීමේ (obstructing the field) දැවී යාම් නීති කාණ්ඩය යටතේ රහීම් දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කිරීමටයි තෙවන විනිසුරු තීරණය කළේ.

පන්දුව අතින් ස්පර්ශ කිරීම නිසා ටෙස්ට් තරගයකදී දැවී ගිය පළමු බංග්ලාදේශ පිතිකරු ලෙසයි රහීම් ඉතිහාසගත වුණේ. එමෙන්ම ටෙස්ට් ඉතිහාසයේ දී මෙම දැවී යාමට හසු වූ 8 වැනි පිතිකරු වන්නේ ද ඔහුයි.

පළමු වරට ටෙස්ට් තරගයකදී මෙම දැවී යාමට හසුව තිබුණේ එංගලන්ත ක්‍රීඩක William Endean. ඔහු 1951 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහි තරගයකදී මේ ආකාරයෙන් දැවී ගියා.

අද දිනයේ දී රහීම් දැවී ගිය අයුරු පහතින් නරඹන්න –