Ultimate magazine theme for WordPress.

Watch : තීක්ෂණ දවා ගත් කඩුලු ත්‍රිත්වය මෙන්න

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද (8) සමත් වුණා.

හැමිල්ටන්හීදී පැවැත්වෙන තරගයේ ආරම්භය වර්ෂාව හේතුවෙන් පැය දෙකහමාරක කාලයක් ප්‍රමාද වූ අතර, කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගයේ එක් ඉනිමක් පන්දුවාර 37 කට සීමා කෙරුණු අතර, නවසීලන්තය කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 255 ක්.

එහිදී තීක්ෂණ ලකුණු 44 කට කඩුලු 4 ක් දවා ගත්තා. ඔහු කඩුලු ත්‍රිත්වයක් බිද හෙලුවේ නවසීලන්ත ඉනිමේ 35 වැනි පන්දුවාරයේ 5 වැනි හා 6 වැනි පන්දුවලදී හා 37 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදීයි.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ මිචෙල් සැන්ට්නර්, නේදන් ස්මිත් හා මැට් හෙන්රි යන පිතිකරුවන්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යවන්නෙකු එක්දින තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් 10 වැනි අවස්ථාව මෙයයි. මීට පෙර චමින්ද වාස් අවස්ථා දෙකකදී ද, ලසිත් මාලිංග අවස්ථා තුනකදී ද, ෆර්විස් මහරුෆ්, තිසර පෙරේරා, වනිදු හසරංග, ශෙහාන් මදුෂංක එක් අවස්ථාව බැගින් ද කඩුලු ත්‍රිත්වයන් බිද හෙලා තිබෙනවා.