Ultimate magazine theme for WordPress.

ගිල්, මිලර් හා අභිනව්ගේ ප්‍රහාරයත්, රෂීඩ් හා නූර්ගේ දක්ෂතාත් හමුවේ මුම්බායි පරදියි

Match Report

ෂුබ්මන් ගිල්, ඩේවිඩ් මිලර් හා අභිනව් මනෝහාර්ගේ වේගවත් ඉනිම් මෙන්ම රෂීඩ් ඛාන්ගේ හා නූර් අහ්මඩ්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ලකුණු 55 ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(25) සමත් වුණා.

අහ්මදාබාද්හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 208 ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.

නූර් අහ්මඩ් ලකුණු 37 කට කඩුලු 3 ක් හා රෂීඩ් ඛාන් ලකුණු 27 කට කඩුලු 2 ක් දවා ගනිමින් මුම්බායි ඉනිම අඩපන කළා.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් Nehal Wadhera ලකුණු 40(21) ක් හා කැමරන් ග්‍රීන් ලකුණු 33(26) ක් රැස් කළා.

පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 207 ක් රැස් කළේ කඩුලු 6 ක් දැවී සිටියදීයි.

ෂුබ්මන් ගිල් පන්දු 34 කින් ලකුණු 56 ක් ලබා ගත්තා. ඩේවිඩ් මිලර් පන්දු 22 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 46 ක්. මිලර්ගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් ඇතුළත්.

හයේ පහර හා හතරේ පහර 3 බැගින් එල්ල කරමින් අභිනව් මනෝහාර් පන්දු 21 කින් ලකුණු 42 ක් රැස් කළා. රාහුල් තෙවාටියා නොදැවී ලකුණු 20(5) ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් ද සමගින්.

පන්දු යැවීමේ දී පියුෂ් චවුලා ලකුණු 34 කට කඩුලු 2 ක් බිද හෙලුවා.