Ultimate magazine theme for WordPress.

The Hundred : වෙන්දේසියේදී කණ්ඩායම් අටට කෝටි 36,238 වටිනාකමක් – නව හිමිකරුවන් මෙන්න

එංගලන්තයේ හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් අටේ කොටස් අලෙවි කිරීම සදහා පැවැති වෙන්දේසියේ කටයුතු මේ වන විට අවසන්ව තිබෙනවා.

ඒ ඒ කණ්ඩායම් වෙනුවෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනය සතුව තිබූ 49% ක කොටස් ප්‍රමාණය මෙහිදී අලෙවි වූ අතර, සත්කාරක ප්‍රාන්ත සමාජ සතු වූ ඉතිරි 51% ක කොටස් ප්‍රමාණයෙන් කොටසක් හෝ සියල්ල අලෙවි කරන්නේ ද නැතහොත් කිසිවක් අලෙවි නොකරන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ප්‍රාන්ත සමාජය සතු වුණා.

බොහෝ ප්‍රාන්ත සමාජ සිය කොටස් රදවා ගැනීමට තීරණය කළ නමුත්, කණ්ඩායම් තුනක් අවම වශයෙන් යම් කොටස් ප්‍රමාණයක් හෝ අලෙවි කළා. Yorkshire ප්‍රාන්ත සමාජය තම සියලු කොටස් Sun Group වෙත අලෙවි කිරීම කැපී පෙනුණා.

පසුගිය සති දෙකක කාලය තුළ මෙම වෙන්දේසියේ කටයුතු සිදු වූ අතර, එහිදී පවුම් බිලියනයක පමණ (පවුම් මිලියන 975) (රුපියල් කෝටි 36,238 ක පමණ අගයක්) වටිනාකමක් කණ්ඩායම් අටේ සම්පූර්ණ කොටස් වෙනුවෙන් හිමි වුණා.

අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල හිමිකරුවන් සිව් දෙනෙකු ද හන්ඩ්‍රඩ් තරගාවලියේ කණ්ඩායම් හතරක කොටස් මිලදී ගැනීමට සමත් වීම විශේෂත්වයක්. ඒ අනුව මුම්බායි ඉන්දියන්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස්, සන්රයිසස් හයිදරාබාද් හා දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම්වල හිමිකරුවන් පිළිවෙලින් Oval Invincibles, London Spirit, Northern Superchargers හා Southern Brave යන කණ්ඩායම්වල කොටස් මිලදී ගත්තා.

  • Oval Invincibles – පවුම් මිලියන 123 ක වටිනාකමක් (ලංසුවක්) (රුපියල් කෝටි 4,571)

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරුවන් වන අම්බානිගේ සමූහ ව්‍යාපාරයක් වන Reliance Industries Limited විසින් Oval Invincibles කණ්ඩායමේ කොටස්වලින් 49% ක් මිලදී ගත් අතර, ඉතිරි කොටස් 51% සරේ ප්‍රාන්තය සතු වනවා.

ඒ අනුව එම කණ්ඩායමෙන් මිලදී ගත් 49% ක කොටස් වෙනුවෙන් ගෙවිය යුතු වන මුදල පවුම් මිලියන 60.3 ක්.

  • Birmingham Phoenix – පවුම් මිලියන 82 ක වටිනාකමක් (රුපියල් කෝටි 3,047)

නිව්යෝර්ක් පදනම් කරගත් ආයෝජන සමාගමක් වන Knighthead Capital Management විසින් Birmingham කණ්ඩායමේ කොටස්වලින් 49% ක් මිලදී ගත් අතර, ඉතිරි කොටස් 51% Warwickshire ප්‍රාන්ත ක්‍රිකට් සමාජය සතුවනවා.

ඒ අනුව එම කණ්ඩායමෙන් මිලදී ගත් 49% ක කොටස් වෙනුවෙන් ගෙවිය යුතු වන මුදල පවුම් මිලියන 40.2 ක්.

  • London Spirit – පවුම් මිලියන 295 ක වටිනාකමක් (රුපියල් කෝටි 10,964)

Cricket Investor Holdings Limited විසින් London කණ්ඩායමේ කොටස්වලින් 49% ක් මිලදී ගත්තා. ඉතිරි 51% තවදුරටත් MCC සතුවනවා.

ඒ අනුව එම කණ්ඩායමෙන් මිලදී ගත් 49% ක කොටස් වෙනුවෙන් ගෙවිය යුතු වන මුදල පවුම් මිලියන 145.5 ක්.

  • Welsh Fire –  පවුම් මිලියන 83 ක වටිනාකමක් (රුපියල් කෝටි 3,084)

ඉන්දියානු-ඇමරිකානු තාක්ෂණික ව්‍යවසායකයෙකු වන Sanjay Govil විසින් Welsh Fire කණ්ඩායමේ කොටස්වලින් 50% ක් මිලදී ගැනීමට සමත් වුණා. Glamorgan සමාජය ඉතිරි 50% තමන් සතුව පවත්වා ගනු ඇති. ඇමෙරිකාවේ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන Washington Freedom කණ්ඩායමේ හිමිකරු වන්නේ ද Sanjay Govil.

ඒ අනුව එම කණ්ඩායමෙන් මිලදී ගත් 50% ක කොටස් වෙනුවෙන් ගෙවිය යුතු වන මුදල පවුම් මිලියන 41.5 ක්.

  • Manchester Originals – පවුම් මිලියන 116 ක වටිනාකමක් (රුපියල් කෝටි 4,311)

Sanjiv Goenka ගේ සමූහ ව්‍යාපාරයක් වන RPSG Group විසින් Manchester කණ්ඩායමේ කොටස්වලින් 70% ක් මිලදී ගැනීමට වෙන්දේසියේදී සමත් වුණා. ඒ අනුව Lancashire ප්‍රාන්ත ක්‍රිකට් සමාජයට හිමි වන්නේ 30% ක කොටස් පමණයි. ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ හිමිකරුවන් වන්නේ ද Sanjiv Goenka.

ඒ අනුව එම කණ්ඩායමෙන් මිලදී ගත් 70% ක කොටස් වෙනුවෙන් ගෙවිය යුතු වන මුදල පවුම් මිලියන 81.2 ක්.

  • Northern Superchargers – පවුම් මිලියන 100 ක වටිනාකමක් (රුපියල් කෝටි 3,716)

Superchargers කණ්ඩායමේ කොටස්වලින් 100% ක් මිලදී ගැනීමට Sun TV Network Limited සමත් වුණා. සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේද හිමිකරුවන් වන ඔවුන් සියලු කොටස් මිලදී ගැනීමත් සමග Yorkshire ප්‍රාන්ත සමාජයට කිසිදු කොටසක් හිමි වන්නේ නැහැ.

ඒ අනුව එම කණ්ඩායමෙන් මිලදී ගත් 100% ක කොටස් වෙනුවෙන් පවුම් මිලියන 100 ක් ගෙවීමට සිදු වනවා.

  • Southern Brave – පවුම් මිලියන 98 ක වටිනාකමක් (රුපියල් කෝටි 3,642)

දිල්ලි කැපිටල්ස් සම හිමිකරුවන් වන ‘GMR Group’ විසින් Southern Brave පිලේ කොටස්වලින් 49% ක් මිලදී ගත්තා. එම කණ්ඩායමේ පාලනය මෙතෙක් හැම්ප්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය සතු වූ අතර, එම ප්‍රාන්ත සමාජයේ අයිතිය ද පසුගිය වසරේදී GMR සමූහය අත්පත් කර ගැනීමට සමත් වුණා.

ඒ අනුව එම කණ්ඩායමෙන් මිලදී ගත් 49% ක කොටස් වෙනුවෙන් ගෙවිය යුතු වන මුදල පවුම් මිලියන 48 ක්.

  • Trent Rockets – පවුම් මිලියන 79 ක වටිනාකමක් (රුපියල් කෝටි 2,936)

චෙල්සි සම හිමිකරු Todd Boehley ගේ සහාය ඇති Cain International හා Ares Management විසින් Trent Rockets කණ්ඩායමේ කොටස්වලින් 49% ක් එක්ව මිලදී ගත්තා. Nottinghamshire ප්‍රාන්ත ක්‍රිකට් සමාජය සතුව තවදුරටත් 51% ක කොටස් සතුයි.

ඒ අනුව එම කණ්ඩායමෙන් මිලදී ගත් 49% ක කොටස් වෙනුවෙන් ගෙවිය යුතු වන මුදල පවුම් මිලියන 38.7 ක්.