Ultimate magazine theme for WordPress.

Tata සමූහය වාර්තාගත මිලකට IPL අනුග්‍රාහකත්වය යළි හිමි කර ගනියි

2018-2022 කාලය සදහා Vivo සමාගම ඉදිරිපත් කළ ලංසුව හා සැසදීමේ දී 2024-2028 කාලය සදහා Tata සමූහය ඉදිරිපත් කළ ලංසුව 13.7% ක ඉහළ යාමක්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය (Title sponsorship) තවත් වසර පහක කාලයක් සදහා දීර්ඝ කර ගැනීමට Tata සමූහය (Tata Group) සමත්ව තිබෙනවා.

ඒ, ඉන්දීය රුපියල් කෝටි 2,500 ක ලංසු මුදලක් යටතේයි. එහි වටිනාමක ශ්‍රී ලංකා රුපියල් කෝටි 9,611 ක් පමණ වනවා. ඒ අනුව වසරකට අදාළ අනුග්‍රාහකත්ව වටිනාකම සටහන් වන්නේ ඉන්දීය රුපියල් කෝටි 500 ක් ලෙසයි.

මෙය අයි.පී.එල් ඉතිහාසයේ දී ලද ඉහළම අනුග්‍රාහකත්ව වටිනාමක බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

2022 හා 2023 අදියරවලදී ද අයි.පී.එල් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේ Tata සමූහයයි. එම සමූහය කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ද දරනු ලබනවා.

අනුග්‍රාහකත්වය දීර්ඝ වීමත් සමග 2024 අදියරේ සිට 2028 අදියර දක්වා ද අයි.පී.එල් තරගාවලිය Tata IPL ලෙස හැදින්වීමට නියමිතයි.

2018 වසරේ සිට 2022 වසර දක්වා වන කාලයට අදාළව අයි.පී.එල් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනු ලැබුවේ චීනයේ Vivo සමාගමයි. ඒ, ඉන්දීය රුපියල් කෝටි 2,199 ක මුදලක් යටතේයි.

කෙසේ වෙතත්, 2020 වසරේ දී ඉන්දියාව හා චීනය අතර ඇති වූ දේශපාලන අර්බුද හේතුවෙන් Vivo සමාගම අයි.පී.එල් තරගාවලියේ අනුග්‍රාහකත්වය දැරීම ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කළා.

ඒ අනුව 2020 වසරේ දී Dream 11 සමාගම අයි.පී.එල් ප්‍රධාන අනුග්‍රාහකත්වය දැරූ අතර, 2021 අදියර සදහා යළි Vivo සමාගම ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනු ලැබුවා.

නමුත් අවසන් අදියර දෙකේ දී Vivo සමාගම වෙනුවට අයි.පී.එල් ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනු ලැබුවේ Tata සමූහයයි.

2018-2022 කාලය සදහා Vivo සමාගම ඉදිරිපත් කළ ලංසුව හා සැසදීමේ දී 2024-2028 කාලය සදහා Tata සමූහය ඉදිරිපත් කළ ලංසුව 13.7% ක ඉහළ යාමක්.

2024 අයි.පී.එල් තරගාවලිය මාර්තු 22 වැනිදා සිට මැයි මස අග දක්වා පැවැත්වීමට නියමිතයි.