Ultimate magazine theme for WordPress.

T20 World Cup : වේග පන්දුවට වැඩි තැනක් දෙමින් පාකිස්තාන සංචිතය නම් කෙරේ

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන පාකිස්තාන සංචිතය නිවේදනය කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා ලෙස බාබර් අසාම් කටයුතු කරන අතර, ඒ අනුව ඔහු අඛණ්ඩව පාකිස්තාන කණ්ඩායම විස්සයි 20 ලෝක කුසලානයකදී මෙහෙයවන තෙවැනි අවස්ථාව මෙය වනු ඇති.

පාකිස්තානය විසින් මෙලෙස සිය සංචිතය නිවේදනය කළේ ලෝක කුසලානයට ක්‍රීඩා කරන සංචිත ඉදිරිපත් කිරීම සදහා අයි.සී.සීය ලබා දී ඇති කාලය අවසන් වීමට පැය කිහිපයක් පමණක් ඉතිරිව ඇති පසුබිමකයි.

Warwickshire ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහා මීට පෙර සංචිතයෙන් නිදහස් කෙරුණු හසන් අලී ලෝක කුසලාන සංචිතයට නම් කර නොමැති අතර, ඉර්ෆාන් ඛාන්ට හා ආගා සල්මන්ට ද සංචිතයේ ඉඩක් වෙන් වී නැහැ.

වේග පන්දු යවන ක්‍රීඩක අබ්බාස් අෆ්රිඩි ද සංචිතයට ඇතුළත් කර ඇති අතර, ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතයට ප්‍රධාන වේග පන්දු යවන්නන් පස් දෙනෙකු ඇතුළත්. ඔහුට අමතරව වේග පන්දු යවන්නන් ලෙස සංචිතයට නම් කර ඇත්තේ ශහීන් ශාහ් අෆ්රිඩි, මොහමඩ් අමීර්, නසීම් ශාහ් හා හැරිස් රවුෆ්.

ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගෙන සිටි නමුත්, විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අරමුණු කර ගනිමින් යළි ජාත්‍යන්තර පිටියට පිවිසි වමත් දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ද ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා. විශේෂඥ පා දග පන්දු යවන්නෙකු ලෙස අබ්‍රාර් අහ්මඩ් සංචිතයට ඇතුළත්.

ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්තානය A කාණ්ඩයෙන් මූලික වටයේ දී තරග වදින අතර, එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ඉන්දියාව, අයර්ලන්තය, කැනඩාව හා සම සත්කාරක ඇමෙරිකා එක්සත් ජනපදයයි.

පාකිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය ඇමෙරිකාවට එරෙහිව ජූනි 6 වැනිදා Dallas හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Pakistan squad for T20 World Cup 2024

Babar Azam (c), Saim Ayub, Mohammad Rizwan (wk), Fakhar Zaman, Azam Khan (wk), Usman Khan, Iftikhar Ahmed, Imad Wasim, Shaheen Shah Afridi, Shadab Khan, Mohammad Amir, Abbas Afridi, Naseem Shah, Haris Rauf, Abrar Ahmed