Ultimate magazine theme for WordPress.

T20 ලෝක ශූර පුහුණුකරු ශ්‍රී ලංකාව සමග යළි එක්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්තයේ පෝල් ෆාබ්‍රේස් පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

‘ද අයිලන්ඩ්’ පුවත්පත වාර්තා කර ඇත්තේ ලබන මාසය මැදදී ඔහු අදාළ ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇති බවයි.

වසර දෙකක කාලයක් සදහා ඔහුව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරිමට නියමිත අතර, එළඹෙන ඉන්දීය තරග සංචාරයේ සිට ශ්‍රී ලංකාවේ නව පුහුණුකරු ලෙස පෝල් ෆාබ්‍රේස් කටයුතු කරනු ඇති.

ඒ අනුව පෙබරවාරි මස මුල පැවැත්වෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා කටයුතු කිරීමට ඉඩ තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර්ගේ වසර දෙකක ධූර කාලය පසුගිය දෙසැම්බර් මාසයේ දී අවසන් වූ අතර, ඒ අනුවයි අදාළ ධූරය මේ වන විට පුරප්පාඩු වී පවතින්නේ.

54 හැවිරිදි පෝල් ෆාබ්‍රේස් මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, 2014 වසරේ 20යි 20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජය ගත්තේ ද ඔහුගේ පුහුණුකාරීත්වය යටතේයි.

කෙසේ වෙතත්, අනතුරුව ඔහු සිය ධූර කාලය නිමා වීමට පෙර හදිසියේම පුහුණුකරු ධූරයෙන් ඉවත් වී එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස එක් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණු කාර්යය මණ්ඩලයේ ප්‍රධාන පුහුණුකරු හා පන්දු රැකීමේ පුහුණුකරු හැරුණු විට සෙසු සියලු පුහුණුකරුවන් ලෙස දේශීය පුහුණුකරුවන් කටයුතු කිරීමට නියමිතව ඇති බව සදහන්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇතුළු පුහුණු කාර්යය මණ්ඩලයේ සියලු තනතුරු සදහා දේශීය පුහුණුකරුවන් පත් කිරීමට මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ අවධානය යොමුව තිබූ නමුත්, මේ වන විට එම ස්ථාවරයේ යම් වෙනසක් සිදුව ඇති බවයි දක්නට ලැබෙන්නේ.

මේ වන විට බංග්ලාදේශයේ සේවය කරන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස පත් කිරීමට නියමිත බවයි ‘ද අයිලන්ඩ්’ පුවත්පත වාර්තා කර ඇත්තේ.

Leave a comment