Ultimate magazine theme for WordPress.

T20 ලෝක කුසලානයට තරග කළ රටවල් 16 අතරේ ත්‍යාග මුදල් බෙදී ගියේ මෙහෙමයි

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉරිදා (13) මෙල්බර්න් හී දී නිමා වුණේ එංගලන්තයට දෙවැනි වරටත් 20යි 20 ලෝක ශූරතාවයක් හිමි කර දෙමින්.

අවසන් මහා තරගයේ දී පාකිස්තානය කඩුලු 5 කින් පරාජයට පත් කරමිනුයි ඔවුන් එලෙස 2010 වසරෙන් පසුව යළිත් වරක් 20යි 20 ලෝක ශූරතාවයක් ජය ගනු ලැබුවේ.

තරගාවලියේ ශූරතාවය දිනූ එංගලන්තය වෙනුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් ශූරතාවය වෙනුවෙන් පමණක් පිරිනැමූ ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක්. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 58 ක පමණ අගයක් වනවා.

මීට අමතරව එංගලන්ත කණ්ඩායමට සුපිරි 12 වටයේ දී ලැබූ එක් තරග ජයක් වෙනුවෙන් ඩොලර් 40,000 (රුපියල් කෝටි 1.4 ක් පමණ) බැගින් වූ මුදලක් ද හිමි වුණා.

තරගාවලියේ අනුශූරතාවය දිනූ පාකිස්තානයට අනුශූරතාවය වෙනුවෙන් ඩොලර් 800,000 ක මුදලක් (රුපියල් කෝටි 29ක් පමණ) පිරිනැමීමටයි අයි.සී.සීය කටයුතු කළේ.

ඔවුන්ට ද සුපිරි 12 වටයේ දී ලැබූ එක් තරග ජයක් වෙනුවෙන් ඩොලර් 40,000 (රුපියල් කෝටි 1.4 ක් පමණ) බැගින් වූ මුදලක් ද හිමි වුණා.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී පරාජයට පත් වූ ඉන්දියාවට හා නවසීලන්තයට ඩොලර් 400,000 බැගින් (රුපියල් කෝටි 14.5 ක් පමණ) වන මූල්‍ය ත්‍යාගයක් ද පිරිනැමුණා.

ඒ, සුපිරි 12 වටයේ දී එම කණ්ඩායම් ලැබූ එක් තරග ජයක් වෙනුවෙන් පිරිනැමුණු ඩොලර් 40,000 (රුපියල් කෝටි 1.4 ක් පමණ) බැගින් වූ මූල්‍ය ත්‍යාගයට අමතරවයි.

සුපිරි 12 වටයෙන් ඉවත් වීමට සිදු වූ ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 8 සදහා ඩොලර් 70,000 ක (රුපියල් කෝටි 2.5 ක් පමණ) මුදලක් බැගින් පිරිනැමුණා.

එම කණ්ඩායම් සදහා ද සුපිරි 12 වටයේ දී ලැබූ එක් තරග ජයක් වෙනුවෙන් ඩොලර් 40,000 (රුපියල් කෝටි 1.4 ක් පමණ) බැගින් වූ මුදලක් පිරිනැමීමටයි පියවර ගෙන තිබුණේ.

පළමු වටය යටතේ ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 8 ක් තරග කළ අතර, එම වටයේ එක් ජයග්‍රහනයක් වෙනුවෙන් කණ්ඩායමකට හිමි වූ මූල්‍ය ත්‍යාගය ද ඩොලර් 40,000 ක්.

පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ කණ්ඩායම් 4 සදහා ද ඩොලර් 40,000 බැගින් පිරිනැමුණා.

මෙවර ලෝක කුසලානයේ දී සමස්තයක් ලෙස ඩොලර් මිලියන 5.6 ක මුදලක් ත්‍යාග මුදල් ලෙස කණ්ඩායම් වෙත පිරිනැමීමටයි අයි.සී.සී ය කටයුතු කළේ.

ඒ අනුව තරගාවලියට එක් වූ රටවල් 16 සදහා සමස්ත මූල්‍ය ත්‍යාග බෙදී ගිය අයුරු මෙසේයි –

  1. එංගලන්තය – රුපියල් කෝටි 63.3 ක් පමණ
  2. පාකිස්තානය – රුපියල් කෝටි 33.5 ක් පමණ
  3. ඉන්දියාව – රුපියල් කෝටි 20.4 ක් පමණ
  4. නවසීලන්තය – රුපියල් කෝටි 19.6 ක් පමණ
  5. ශ්‍රී ලංකාව – රුපියල් කෝටි 8.3 ක් පමණ
  6. නෙදර්ලන්තය – රුපියල් කෝටි 8.3 ක් පමණ
  7. ඔස්ට්‍රේලියාව – රුපියල් කෝටි 7.6 ක් පමණ
  8. සිම්බාබ්වේ – රුපියල් කෝටි 7.6 ක් පමණ
  9. අයර්ලන්තය – රුපියල් කෝටි 7.6 ක් පමණ
  10. දකුණු අප්‍රිකාව – රුපියල් කෝටි 6.1 ක් පමණ
  11. බංග්ලාදේශය – රුපියල් කෝටි 5.4 ක් පමණ
  12. ඇෆ්ඝනිස්තානය – රුපියල් කෝටි 4 ක් පමණ
  13. බටහිර ඉන්දීය කොදෙව් – රුපියල් කෝටි 2.9 ක් පමණ
  14. එක්සත් අරාබි එමීර් රාජ්‍ය – රුපියල් කෝටි 2.9 ක් පමණ
  15. ස්කොට්ලන්තය – රුපියල් කෝටි 2.9 ක් පමණ
  16. නැමීබියාව – රුපියල් කෝටි 2.9 ක් පමණ

(තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු අවස්ථාවක තරග ජයග්‍රහනයකදී හිමි වන ත්‍යාග මුදලෙන් අඩක් බැගින් කණ්ඩායම් දෙකටම හිමි වන බවට උපකල්පනය කරමින් මෙම ත්‍යාග මුදල් ගණනය කිරීම අප වෙබ් අඩවිය විසින් සිදු කර ඇත.)

Show Comments (1)