Ultimate magazine theme for WordPress.

T20 ලෝක කුසලානයෙන් පසුව නිව් යෝර්ක් ක්‍රීඩාංගනයට වෙන දේ…

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට යොදා ගැනීම සදහා තාවකාලිකව ඉදි කළ නිව් යෝර්ක් හි Eisenhower Park ක්‍රීඩාංගනයේ තණතීරු සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව ජගත් ක්‍රිකට් කවුන්සලයේ බලධාරීන් පවසනවා.

තරගාවලිය යටතේ නිව් යෝර්ක් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු තරගය සදසා තවත් සති දෙකහමාරක පමණ කාලයක් ඉතිරිව ඇති අතර, ක්‍රීඩාංගනයේ තණතීරු සම්බන්ධයෙන් බිය වීමට කිසිදු හේතුවක් නොමැති බවයි එම ක්‍රීඩාංගනයේ තණතීරු නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ භාරකරු Damian Hough සදහන් කළේ.

ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේ තණතීරු භාරකරු වන ඔහුට මෙම ක්‍රීඩාංගනයේ තණතීරු නිර්මාණය කිරීම සම්බන්ධයෙන් දැඩි වගකීමක් පැවරුණා. ඔස්ට්‍රේලියාවේ සිට ෆ්ලොරිඩා හරහා නිව් යෝර්ක් වෙත ප්‍රවාහනය කෙරුණු තණතීරු මේ වන විට ක්‍රීඩාංගනයේ ස්ථාපිත කර අවසන්.

තණතීරු 4ක් ක්‍රීඩාංගනයේ ස්ථාපිත කර ඇති අතර, තවත් තණතීරු හයක් පුහුණුවීම් කටයුතු වෙනුවෙන් ඒ ආසන්නයේ ස්ථාපිත කර තිබෙනවා.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී නිව් යෝර්ක් ක්‍රීඩාංගනයේ දී තරග 8ක් පැවැත්වීමට නියමිතයි. පළමු තරගය ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ජූනි 3 වැනිදා පැවැත්වෙන අතර, ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ද එම ක්‍රීඩාංගනයේ දී ම ජූනි 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලිය ආරම්භ වීමට පෙර එම ක්‍රීඩාංගනයේ දී ජූනි පළමු වැනිදා බංග්ලාදේශය හා ඉන්දියාව අතර පුහුණු තරගයක් ද පැවැත්වීමට නියමිතව ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ක්‍රීඩාංගනයේ ස්වභාවය

අයි.සී.සී තරගාවලි ප්‍රධානී Chris Tetley පෙන්වා දෙන්නේ නිව් යෝර්ක් ක්‍රීඩාංගනයේ ප්‍රමාණය සැලකීමේ දී එය අංගසම්පූර්ණ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් පිටියක් ලෙස නිර්මාණය කර ඇති බවයි.

ක්‍රීඩාංගනයේ නැගෙනහිර හා බටහිර කලාපවලට යාර 75 ක (මීටර් 68.5) දුරක් ද, උතුර හා දකුණු කලාපයට යාර 67 ක (මීටර් 61.2) දුරක් ද පවතිනවා.

ඒ අනුව ක්‍රීඩාංගනයේ ප්‍රමාණය අනුව එය බ්‍රිස්බේන්හි ගැබා, ලන්ඩන් හි ඕවල් හා මුම්බායිහි වන්කඩේ වැනි ක්‍රීඩාංගනවල ප්‍රමාණයට සමාන බවයි Chris Tetley සදහන් කළේ.

ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාර ලෙස යොදා ගෙන ඇත්තේ පසුගිය නොවැම්බර් මාසයේ ලාස් වේගාස්හි පැවැති Formula 1 Grand Prix තරගාවලිය සදහා යොදා ගෙන තිබූ ප්‍රේක්ෂකාගාරයි. ප්‍රේක්ෂකයින් 34,000 කට තරග නැරඹීම සදහා අවස්ථාව පවතිනවා.

ක්‍රීඩාංගනය සදහා විදුලි ආලෝකය ලබා දීමට පියවර ගෙන නැහැ. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ දී නිව් යෝර්ක් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සියලු තරග දිවා කාලයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම ක්‍රීඩාංගනය නිර්මාණය කිරීම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක පමණ (රුපියල් කෝටි 900 ක් පමණ) මුදලක් වැය වී ඇති බව සදහන්.

තරගාවලියෙන් පසුව ක්‍රීඩාංගනයට මොකද වෙන්නේ?

ඇමෙරිකාවේ හා කොදෙව් දූපත්හි සම සත්කාරකත්වයෙන් ජූනි පළමු වැනිදා සිට මෙවර පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ජූනි 29 වැනිදා අවසන් වීමට නියමිතයි.

ඉන් අනතුරුව ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් යළි ගලවා ඉවත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩාංගනයට යොදා ගෙන ඇති ප්‍රේක්ෂකාගාර ද යළි ලාස් වේගාස් වෙත ප්‍රවාහනය කිරීමටයි නියමිතව ඇත්තේ.

Major League Cricket (MLC) තරගාවලියේ සංවිධායකයින් මෙම ක්‍රීඩාංගනයේ දී MLC තරගාවලියේ දෙවැනි අදියරේ තරග පැවැත්වීම සදහා අවධානය යොමු කර තිබූ අතර, අයි.සී.සීය සමග ද ඒ පිළිබද සාකච්ඡා සිදු කර තිබූ බව BBC Sport වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත්, ප්‍රේක්ෂකාගාර ගලවා යළි ප්‍රවාහනය කිරීමට නියමිතව ඇති බැවින් එම සාකච්ඡා සාර්ථක වී නොමැති බව සදහන්.

ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමෙන් පසුව ක්‍රීඩාංගනය පිහිටි භූමියේ වගකීම යළි Nassau ප්‍රාන්ත බලධාරීන් වෙත පැවරෙන අතර, එම භූමිය යළි උද්‍යානයක් බවට පත් කරනු ඇති.

කෙසේ වෙතත්, පුහුණුවීම් සදහා ඉදි කෙරුණු ප්‍රදේශය ඉදිරියටත් පවත්වා ගෙන යාමට නියමිතව ඇති බවත්, ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රජාව සඳහා ජාත්‍යන්තර මට්ටමේ යටිතල පහසුකම් සහිත ස්ථානයක් ඉතිරි වනු ඇති බවත් අයි.සී.සී තරගාවලි ප්‍රධානී Chris Tetley සදහන් කළා.

නිව් යෝර්ක් ක්‍රීඩාංගනයේ වත්මන් තත්ත්වය –

ලෝක කුසලානයේ දී නිව් යෝර්ක් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරග –

  • June 3: Sri Lanka vs South Africa
  • June 5: India vs Ireland
  • June 7: Canada vs Ireland
  • June 8: Netherlands vs South Africa
  • June 9: India vs Pakistan
  • June 10: South Africa vs. Bangladesh
  • June 11: Pakistan vs Canada
  • June 12: USA vs India