Ultimate magazine theme for WordPress.

T20 ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව සමග ලෝක වාර්තා 4ක් නේපාලය බිද දමයි

පන්දුවාර 20යි 20 ජාත්‍ය්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ දී ඉනිමකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව බිද දැමීමට නේපාල කණ්ඩායම අද(27) සමත් වුණා.

ඒ, චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී මොන්ගෝලියාවට එරෙහිව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 314 ක් රැස් කරමින්.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ ඇෆ්ඝනිස්තාන කණ්ඩායමයි. ඔවුන් 2019 වසරේ දී අයර්ලන්තයට එරෙහිව කඩුලු 3 ක් දැවී ලකුණු 278 ක් ලබා එම වාර්තාව පිහිටුවා තිබුණා.

ඒ අනුව 20යි 20 ජාත්‍යන්තර තරගයකදී ලකුණු 300 ක් වාර්තා කළ ලොව පළමු රට බවට නේපාලය අද ඉතිහාසගත වුණා.

නේපාල ඉනිම වෙනුවෙන් Kushal Malla නොදැවී ලකුණු 137 ක් වාර්තා කළේ පන්දු 50 කට පමණක් මුහුණ දෙමින්. හයේ පහර 12 ක් හා හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ඔහු සිය ශතකය පන්දු 34 කින් සම්පූර්ණ කරමින් ලෝක වාර්තාවක් පිහිටුවූයේ 20යි 20 ජාත්‍යන්තර තරගයකදී වාර්තා වූ වේගවත්ම ශතකයේ වාර්තාව සිය නම ඉදිරියෙන් සටහන් කර ගනිමින්.

මීට පෙර ඩේවිඩ් මිලර් විසින් 2017 වසරේ දී පන්දු 35 කින් බංග්ලාදේශයට එරෙහිව ශතකයක් වාර්තා කරමින් අදාළ වාර්තාවට හිමිකම් කියා තිබුණා.

Dipendra Singh Airee පන්දු 10 ක් පමණක් වැය කරමින් නොදැවී ලකුණු 52 ක් රැස් කළා. හයේ පහර 8 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.ඔහු මෙම තරගයේ දී ඉතිහාසගත වුණේ 20යි 20 ජාත්‍යන්තර තරගයකදී වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළ පිතිකරුවා ලෙසයි. පන්දු 9කින් ඔහු සිය අර්ධ ශතකය සම්පූර්ණ කළා.

මීට පෙර යුවරාජ් සිං විසින් 2007 වසරේ දී එංගලන්තයට එරෙහිව පන්දු 12 කින් අර්ධ ශතකය වාර්තා කරමින් මෙම වාර්තාව පිහිටුවා තිබුණා.

Rohit Paudel පන්දු 27 කින් ලකුණු 61 ක් ලබා ගත්තා.

මෙම තරගයේ දී මොන්ගෝලියා කණ්ඩායමේ සියලු පිතිකරුවන් පන්දුවාර 13.1 ක් අවසානයේ ලකුණු 41 කට දැවී ගිය අතර, ඒ අනුව තරගයෙන් ලකුණු 273 ක ජයක් වාර්තා කිරීමට නේපාලය සමත් වුණා.

එය 20යි 20 ජාත්‍යන්තර තරගයකදී ඉහළම ලකුණු පරතරයකින් කණ්ඩායමක් තරගයක් ජය ගත් අවස්ථාව ලෙස ද ඉතිහාසගත වුණා.

(තරගයෙන් අනතුරුව මෙම පුවත යාවත්කාලීන කරන ලදී)

Leave a comment