SA20 තරගාවලියේ කාලසටහන නිවේදනය කෙරේ ; නවසීලන්ත ටෙස්ට් තරගය සමගත් ඝට්ටනයක්
දකුණු අප්රිකාවේ පැවැත්වෙන SA20 ක්රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව තරගාවලිය ජනවාරි 10 වැනිදා සිට පෙබරවාරි 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙම තරග කාලසටහන දකුණු අප්රිකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ දී පෙබරවාරි 4 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ කාලසටහනත් සමග ගැටීමක් සිදු වීම විශේෂත්වයක්.
තරගාවලියේ පළමු තරගය Sunrisers Eastern Cape කණ්ඩායම හා Joburg Super Kings කණ්ඩායම අතර Gqeberha හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දෙවැනි අදියරේ දී එක් දිනක තරග දෙකක් පැවැත්වෙන්නේ සෙනසුරාදා දිනවලදී පමණයි. ඉරිදා දිනවල පැවැත්වෙන තරග එරට වේලාවෙන් පස්වරු 3 ට ආරම්භ කිරීමට නියමිතයි.
පළමු අදියරේ දී පැවැති අවසන් පූර්ව වටය වෙනුවට දෙවැනි අදියරේ අවසන් වටයේ තරග පැවැත්වෙන ආකෘතිය වෙනස් කර තිබෙනවා. ඒ අනුව අවසන් මහා තරගයට පෙර Qualifiers තරග දෙකක්, Eliminator තරගයක් පැවැත්වීමට නියමිතයි.
තරගාවලියට අදාළ ක්රීඩක වෙන්දේසිය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 27 වැනිදායි. වෙන්දේසි දිනයේ දී සමස්ථයක් ලෙස ක්රීඩකයින් 21 දෙනෙකු මිලදී ගැනීමට නියමිතව තිබෙනවා.
සංචිතයක් සදහා ක්රීඩකයින් 19 දෙනෙකු ඇතුළත් විය යුතු අතර, ඊට අවම වශයෙන් දකුණු අප්රිකා ක්රීඩකයින් 10 දෙනෙකු ඇතුළත් විය යුතුයි. උපරිම වශයෙන් විදෙස් ක්රීඩකයින් 7 දෙනෙකු ද සංචිතයකට ඇතුළත් කර ගත හැකියි.
ඊට අමතරව මීට පෙර SA20 තරගාවලිය ක්රීඩා නොකළ වයස අවුරුදු 22 හෝ ඊට අඩු දකුණු අප්රිකා ක්රීඩකයෙකු ද ඇතුළත් කර ගත යුතු වනවා.
SA20 තරගාවලියේ දෙවැනි අදියර සදහා සංචිතවල රදවා ගෙන ඇති සියලු ක්රීඩකයින්ගේ ලැයිස්තුව මීට පෙර නිවේදනය කෙරුණු අතර, Durban’s Super Giants සංචිතයට ඇතුළත්ව සිටි ශ්රී ලංකාවේ ඩිල්ෂාන් මදුෂංක තවදුරටත් එම සංචිතයේ රදවා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.
එම කණ්ඩායම විසින් භානුක රාජපක්ෂ සමග එළඹෙන තරග වාරය වෙනුවෙන් සෘජුව ගිවිසුම්ගත වුණා. පසුගිය තරග වාරයේ දී එම සංචිතයට ඇතුළත්ව සිටි අකිල ධනංජය එළඹෙන තරග වාරය වෙනුවෙන් රදවා ගත් ක්රීඩකයින් අතරට ඇතුළත්ව නැහැ.
Joburg Super Kings කණ්ඩායම විසින් මහිෂ් තීක්ෂණ සංචිතයෙන් නිදහස් කිරීමට ද පියවර ගෙන තිබීම විශේෂත්වයක්.
Pretoria Capitals කණ්ඩායම විසින් කුසල් මෙන්ඩිස් ද සිය සංචිතයෙන් නිදහස් කළා.