Ultimate magazine theme for WordPress.

පන්දු යවන්නන්ගේ දක්ෂතා සහ ඩිල්ෂාන්ගේ අර්ධ ශතකය හමුවේ ශ්‍රී ලංකාවට පහසු ජයක්

Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහනය ද වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද(8) සමත් වුණා.

ඒ, දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 9කින් ජය වාර්තා කිරීමත් සමගයි.

රායිපූර්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 89ක් පමණයි.

Andrew Puttick ලකුණු 39ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නුවන් කුලසේකර, රංගන හේරත් සහ සනත් ජයසූරිය කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 13.2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තිලකරත්න ඩිල්ෂාන් පන්දු 40කින් නොදැවී ලකුණු 50ක් රැස් කළේ හතරේ පහර 7ක් ද සමගින්.

සනත් ජයසූරිය ලකුණු 8කට දැවී ගිය අතර, උපුල් තරංග නොදැවී ලකුණු 27යි.

මෙම ජයත් සමගින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත්වුණේ ප්‍රසාද ලකුණු 12ක් ලබා ගනිමින්.

එහි පෙරමුණේ පසුවන ඉන්දියාව ද ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12ක්.

ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා ද ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට වැඩි අවස්ථාවක් උදා වී තිබෙනවා.

Leave a comment