LPL 2024 : දඹුල්ලට සැනසුම්දායක ජයක් – අවසන් වටයේ තරග කාලසටහන මෙන්න

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය හෙවත් 20 වැනි තරගයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා ලකුණු 28 ක සැනසුම්දායක ජයක් වාර්තා කිරීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අද(16) සමත් වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 123 ක් පමණක් රැස් කළ නමුත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 18.1 ක් තුළ ලකුණු 95 කට සීමා කිරීමට දඹුල්ල පන්දු යවන්නන් සමත් වුණා.
කෙසේ වෙතත්, ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවන මහනුවර කණ්ඩායම අභිබවා අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටින දඹුල්ල කණ්ඩායමට මෙම තරගය ඉහළ පරතරයක් සහිතව ජය ගැනීම අනිවාර්යය වී තිබුණා.
ඒ අනුව දඹුල්ල පිල ලකුණු 123 කට සීමා වීමත් සමග මහනුවර පිලේ ශුද්ධ ලකුණු වේගය අභිබවා අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට මෙම තරගයේ දී කොළඹ කණ්ඩායම ලකුණු 47 කට හෝ ඊට අඩුවෙන් සීමා කිරීමට සිදු වුණා. නමුත්, එම ලකුණු සංඛ්‍යාවට අඩුවෙන් කොළඹ කණ්ඩායම සීමා කිරීමට දඹුල්ල පන්දු යවන්නන්ට නොහැකි වීමත් සමග සික්සර්ස් කණ්ඩායමට මෙවර තරගාවලියෙන් ඉවත් වීමටයි සිදු වුණේ.
පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් නායක මොහමඩ් නබී ලකුණු 40(33) ක් හා චමිදු වික්‍රමසිංහ ලකුණු 26(29) ක් රැස් කළා. ඒ, ඉනිමේ කඩුලු 5 ක් ලකුණු 38 ක් තුළ දැවී ගිය පසුබිමකයි.
පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු ලකුණු 15 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මතීෂ පතිරණ හා දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 30(31) ක් රැස් කළ නායක තිසර පෙරේරායි.
පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත් අතර, චමිදු වික්‍රමසිංහ ලකුණු 13 කට කඩුලු දෙකක් බිද හෙලුවා.
අවසන් වටයේ තරග කාලසටහන
මෙවර LPL තරගාවලියේ අවසන් වටයේ තරග එළඹෙන 18 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ම ආරම්භ වනවා.
ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක හිමි කර ගත් ගෝල් මාර්වල්ස් කණ්ඩායම හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අවසන් වටයේ පළමු තරගය හෙවත් Qualifier 1 තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි. එම තරගය එළඹෙන 18 වැනිදා පස්වරු 3:00 ට ආරම්භ වනවා.
අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගය පැවැත්වෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දිනූ කලම්බු ස්ට්‍රයිකර්ස් පිල හා සිව්වැනි ස්ථානය හිමි කර ගත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතරයි. එම තරගය එදිනම රාත්‍රී 7:30 ට ආරම්භ වීමට නියමිතයි.
එළඹෙන 20 වැනිදා රාත්‍රී 7:30 ට ආරම්භ වන අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගයට සුදුසුකම් ලබා ගන්නේ Qualifier 1 තරගයෙන් පරාජයට පත් වන කණ්ඩායම හා Eliminator තරගයෙන් ජය ගන්නා කණ්ඩායමයි.
Qualifier 1 තරගය හා Qualifier 2 තරගය ජය ගන්නා කණ්ඩායම් එළඹෙන 21 වැනිදා රාත්‍රියේ පැවැත්වෙන අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණ ගැසීමට නියමිතයි.