Ultimate magazine theme for WordPress.

LPL 2022 : වැඩිම විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණයක් පාකිස්තානයෙන් ; LPL Draft සාරාංශය මෙන්න

2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු අගහරුවාදා (5) රාත්‍රියේ දී සාර්ථක ලෙස අතථ්‍ය (Virtual)  ක්‍රමවේදයක් ඔස්සේ සිදු කෙරුණා.

විදෙස් ක්‍රීඩකයින් 180 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 173 දෙනෙකු සමගින් සමස්ත ක්‍රීඩකයින් 353 දෙනෙකු ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ඉදිරිපත් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණේ.

වට 20කින් යුතු වූ කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී කාණ්ඩ රැසක් යටතේ ක්‍රීඩකයින් මිලදී ගැනීමේ අවස්ථාව කණ්ඩායම් කළමනාකාරීත්වය වෙත හිමිව තිබුණා.

කෙටුම්පත් කිරීම සිදු කිරීමට පෙර, පසුගිය තරග වාරයේ දී සිය සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් 6 දෙනෙකු උපරිම වශයෙන් සංචිතයේ රදවා ගැනීමටත්, දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු හා විදේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග සෘජුවම ගිවිසුම්ගත වීමටත් කණ්ඩායම්වලට අවස්ථාව ලබා දී තිබුණා.

සෙසු ක්‍රීඩකයින් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී තෝරා ගැනීමටයි කණ්ඩායම් කළමනාකාරීත්වයට සිදු වුණේ.

ඒ අනුව සෑම කණ්ඩායමක් විසින්ම සිය සංචිතයට අවශ්‍ය විදෙස් ක්‍රීඩකයින් 6 දෙනා හා දේශිය ක්‍රීඩකයින් 14 දෙනා මේ වන විට තෝරා ගෙන අවසන්.

මෙම ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත් වුණා. අයි.සී.සී ජාත්‍යන්තර 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉදිරියෙන්ම පසුවන (8 වැනි ස්ථානයේ) ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේ ඔහුයි.

එමෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර, දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය හා තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු මදුෂංක වැනි ක්‍රීඩකයින් ද කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගෙන නැහැ.

මේ අතර, ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලියට ක්‍රීඩා කරන මහනුවර නගරය කේන්ද්‍ර කර ගත් කණ්ඩායමේ නම යළි වෙනස් කිරීමකට ලක් කර ඇති අතර, පසුගිය තරග වාරයේ දී කැන්ඩි වොරියර්ස් නමින් තරග වැදුණු මහනුවර කණ්ඩායම මෙවර තරගාවලියේ දී කැන්ඩි ෆැල්කන්ස් (Kandy Falcons) යන නමින් තරග කිරීමට නියමිතයි. ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරේ දී මහනුවර කණ්ඩායම Kandy Tuskers යන නමින් තරග කරනු ලැබුවා.

ක්‍රීඩක කෙටුම්පත් කිරීම අවසන් වන විට සියලු කණ්ඩායම්වල සංචිත සකස් වී ඇති ආකාරය අනුව වැඩිම විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණයක් මෙවර එල්.පී.එල් තරගාවලිය සදහා එක්ව සිටින්නේ පාකිස්තානයෙන්. එම ක්‍රීඩකයින් ප්‍රමාණය 9ක්.

LPL තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත පාකිස්තාන ක්‍රීඩකයින් – (9)

ඉමාඩ් වසීම් (ගෝල් ග්ලැඩියේටර්ස්), ෆහීම් අශ්රෆ් (ගෝල් ග්ලැඩියේටර්ස්), අසාම් ඛාන් (ගෝල් ග්ලැඩියේටර්ස්), සර්ෆරාස් අහ්මඩ් (ගෝල් ග්ලැඩියේටර්ස්), Asif Ali (කලම්බු ස්ටාර්ස්), Shoaib Malik (ජැෆ්නා කිංග්ස්), Shahnawaz Dahani (ජැෆ්නා කිංග්ස්), Usman Shinwari (කැන්ඩි ෆැල්කන්ස්), Haider Ali (දඹුල්ල ජයන්ට්ස්)

LPL තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් – (7)

ශෙර්ෆේන් රදර්ෆර්ඩ් (ගෝල් ග්ලැඩියේටර්ස්), Dominic Drakes (කලම්බු ස්ටාර්ස්), Evin Lewis (ජැෆ්නා කිංග්ස්),  Carlos Brathwaite (කැන්ඩි ෆැල්කන්ස්), Fabian Allen (කැන්ඩි ෆැල්කන්ස්), Andre Fletcher (කැන්ඩි ෆැල්කන්ස්), Sheldon Cottrel (දඹුල්ල ජයන්ට්ස්)

LPL තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් – (5)

ජනෙමන් මලාන් (ගෝල් ග්ලැඩියේටර්ස්), Dwaine Pretorius (කලම්බු ස්ටාර්ස්),  Hardus Viljoen (ජැෆ්නා කිංග්ස්), Tristan Stubbs (ජැෆ්නා කිංග්ස්),  Dewald Brevis (කැන්ඩි ෆැල්කන්ස්)

LPL තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් – (4)

Naveen Ul haq (කලම්බු ස්ටාර්ස්), Karim Jannet (කලම්බු ස්ටාර්ස්), Fazalhaq Farooqi (කලම්බු ස්ටාර්ස්), Rahmanullah Gurbaz (ජැෆ්නා කිංග්ස්)

LPL තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් – (3)

Chris Green (කැන්ඩි ෆැල්කන්ස්),  D’Archy Short (දඹුල්ල ජයන්ට්ස්), Ben Cutting (දඹුල්ල ජයන්ට්ස්)

ඊට අමතරව නේපාලයේ Sandeep Lamichhane (දඹුල්ල ජයන්ට්ස්) හා නවසීලන්තයේ Tim Siefert (දඹුල්ල ජයන්ට්ස්) ද මෙවර තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.

සංචිත පහ –

ගෝල් ග්ලැඩියේටර්ස් සංචිතය , කලම්බු ස්ටාර්ස් සංචිතය, ජැෆ්නා කිංග්ස් සංචිතය, කැන්ඩි ෆැල්කන්ස් සංචිතය , දඹුල්ල ජයන්ට්ස් සංචිතය

එල් පී එල් හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී හා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, තරගාවලිය සදහා තරග 24ක් ඇතුළත්.

Leave a comment