Ultimate magazine theme for WordPress.

LPL මාධ්‍ය හමුවේ අදහස් : මැතිව්ස් පන්දු යවනවාද? ජැෆ්නා සංයුතිය? කුසල්ගේ ආබාධය?

හෙටින් ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ද පන්දු යැවීම සදහා තමා සූදානමින් පසුවන බව කලම්බු කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අද(25) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මැතිව්ස් ඒ බව සදහන් කළා.

පසුගිය මාස 8ක පමණ කාලය ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට බාධා සිදු වුවද තමා සිය ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් වැඩි අවධානයක් එම කාලයේ දී යොමු කළ බවයි මැතිව්ස් කියා සිටියේ.

ඉදිරියේ දී ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එක්දින සහ 20යි 20 තරගවලදී දී ද පන්දු යැවීමට තමා සූදානම් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ආබාධයකට ගොදුරු වූ කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල් ද බොහෝ විට මෙවර තරගාවලියේ දී පන්දු යවනු ඇති බවත්, අද දිනයේ දී සිදු කරන පුහුණුවිම්වලින් පසුව ඒ පිළිබද අවසන් තීරණයකට එළඹිය හැකි බවත් මැතිව්ස් සදහන් කළා.

“අද තමයි අපි කණ්ඩායමක් වශයෙන් එකට පුහුණුවීම් කරන්නේ විදෙස් ක්‍රීඩකයින්ගේ නිරෝධායනය අවසන් කරලා.” යනුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස් පවසා සිටියා. “රසල් අද පන්දු යවලා බලයි පුහුණුවීම්වලදී. මොකද ඔහුට පසුගිය දින 7 තුළ මොකුත් කරන්න බැරි වුණ නිසා. ඔහු කුමන අවස්ථාවක හෝ මෙවර තරගාවලියේ දී අනිවාර්යෙන්ම පන්දු යවයි. පළමු තරගයේ දී පන්දු යවන්න පුලුවන් ද කියල අද පැවැත්වෙන පුහුණුවෙන් පස්සේ ඔහු දැනුම් දෙයි අපිට.”

මේ අතර, මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන කණ්ඩායම් අතරින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හැරුණු විට සෙසු කිසිදු කණ්ඩායමක් මෙතෙක් උප නායකයෙකු පත් කර නොමැති බව ද මෙම මාධ්‍ය හමුවේ දි අණාවරණය වුණා.

ගාලු කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස ශහිඩ් අෆ්රිඩි කටයුතු කරන අතර, උප නායකයා ලෙස කටයුතු කරන්නේ භානුක රාජපක්ෂයි.

කෙසේ වෙතත්, අෆ්රිඩි ඊයේ දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණීම හේතුවෙන් ඔහුට මෙවර තරගවාරයේ පළමු තරග කිහිපය අහිමි වනු ඇති.

ඒ අනුව ශහිඩ් අෆ්රිඩිගේ නිරෝධායන කාලය අවසන් වනතුරු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ භානුක රාජපක්ෂයි.

නායකත්වය අභියෝගයක් වුවත් එය සතුටින් භාර ගන්නා බවයි හෙතෙම මෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කර සිටියේ.

මේ අතර, අද පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා සදහන් කළේ යාපනය කණ්ඩායමේ ප්‍රධාන සංචිතයේ සිටින දෙමළ ජාතික ක්‍රීඩකයින් දෙදෙනාට ද මෙවර තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා අනිවාර්යයෙන්ම අවස්ථාවක් පවතින බවයි.

“දවසේ තණතීරුව බලලා තමයි කණ්ඩායම තෝරන්න වෙන්නේ. පුලුවන් තරම් අපි අවස්ථාව දෙන්නයි බලන්නේ එයාලට. දෙමල ජාතිකයික් දෙදෙනෙකු ඉන්නවා ප්‍රධාන ක්‍රීඩකයින් 15 ඇතුළේ. ඔවුන් දෙදෙනාගෙන් එක්කෙනෙක්ට හැම තරගයක්ම වගේ ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් තියෙනවා” යනුවෙන් තිසර පෙරේරා සදහන් කළා.

මාධ්‍ය හමුවේ දී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා ද අදහස් පල කළා.

මේ වන විට සිය ආබාධ තත්ත්වයන් සුව අතට පත්ව ඇති බවත්, කඩුලු රකින ආරම්භක පිතිකරුවෙකු ලෙස මෙවර තරගාවලියට ක්‍රීඩා කරන බවත් ඔහු කියා සිටියා.

මෙහිදී අදහස් දැක් වූ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නායක දසුන් ශානක කියා සිටියේ මෙවැනි තරගාවලියක් සංවිධාන කිරීම සම්බන්ධයෙන් සියලු බළධාරීන්ට ස්තූතිය පුද කරන බවයි.

තරුණ ක්‍රීඩකයින් හදුනා ගැනීමටත්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙනුත් මෙම තරගාවලිය වැදගත් බව ඔහුගේ අදහසයි.

Leave a comment