Ultimate magazine theme for WordPress.

LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය අරඹයි; තරගාවලියේ දිනත් ප්‍රකාශ කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග්(එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සදහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම හෙට(24) සිට යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඔස්සේ විදෙස් ක්‍රීඩකයින්ට ඔක්තෝබර් 05 වනදා දක්වා තම ලියාපදිංචිය සිදු කළ හැකි බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ලියාපදිංචි වන සියලු ක්‍රීඩකයින් සුදුසුකම් මත පදනම්ව එල්.පී.එල් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාවට ඉදිරිපත් කරනු ඇති.

ලියාපදිංචි වන විදෙස් ක්‍රීඩකයින් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාවට තේරී පත්වන්නටනම් ඔවුන් සිය රටේ ජාතික කණ්ඩායම හෝ පළමුපෙල තරග ක්‍රීඩා කර තිබීම හෝ ප්‍රධාන 20යි 20 ලීග් තරගාවලියක් (අයි.සී.සී ප්‍රධාන සාමාජික රටවල්හි පවත්වන) ක්‍රීඩා කර තිබීම අනිවාර්යය වනවා.

එමෙන්ම එම ක්‍රීඩකයින් ඔවුන්ගේ රටේ ක්‍රිකට් ආයතනය විසින් පිළිගත් ක්‍රීඩකයින් ද විය යුතුයි.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් 4 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය නොවැම්බර් 19 වනදා සිට දෙසැම්බර් 12 වනදා දක්වා පැවැත්වෙන බවයි මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර තිබුණේ.

මෙවර තරගාවලිය ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට මීට පෙර නියමිතව තිබූ නමුත්, එම කාලයේ දී ජාත්‍යන්තර තරගාවලි හා ප්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැති බැවින් විදෙස් ක්‍රීඩකයින් LPL තරගාවලියට සම්බන්ධ කර ගැනීමේ දුෂ්කරතා සලකා බලා තරගාවලිය කල් දැමීමට තීරණය කෙරුණා.

කණ්ඩායම් 5ක් මෙවර තරගාවලියට එක් වන බවත්, සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගත හැකි බවත් ක්‍රිකට් ආයතනය සදහන් කළා.

එම ක්‍රීඩකයින් 20 දෙනා අතරට දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් විය යුතුයි.

අවශ්‍යනම් කණ්ඩායම් කළමණාකාරීත්වයට පසුගියවර සංචිතයේ රැදී සිටි ක්‍රීඩකයින් අතරින් සිව්දෙනෙකු (දේශිය 2 හා විදෙස් 2) මෙවර තරගාවලිය සදහා ද රදවා තබා ගත හැකි බව මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දක්වා තිබුණා.

සෙසු ක්‍රීඩකයින් තෝරා පත් කර ගත යුතු වන්නේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී යි.

දේශීය ක්‍රීඩකයින්, ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට ඉදිරිපත් කරනුයේ ජාතික තේරීම් කමිටුවේ නිර්දේශ මතයි.

ජාතික කණ්ඩායම, නැගීඑන, සංවර්ධන කණ්ඩායම් සහ ‘A’ කණ්ඩායම නියෝජනය කිරීම මෙන්ම ප්‍රධාන ක්‍රීඩා සමාජ තරගාවලිය ක්‍රීඩා කර තිබීම මෙහිදී සුදුසුකමක් ලෙස සලකනු ලබනවා.

Leave a comment