Ultimate magazine theme for WordPress.

LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීම අද පස්වරුවේ- සම්පූර්ණ විස්තරය මෙන්න

අවස්ථා කිහිපයකදීම කල් දැමීමට සිදු වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ක්‍රීඩකයින් තෝරා ගැනීම හෙවත් කෙටුම්පත් කිරීමේ කටයුතු (Player Draft) අද(19) සිදු කෙරෙනවා.

පස්වරු 4 සිට කෙටුම්පත් කිරීමේ කටයුතු අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට නියමිතයි.

තරගාවලිය කළමනාකරණය සහ මෙහෙයවීම සිදු කරනු ලබන ‘Innovative Production Group (IPG)’ ආයතනය සදහන් කළේ ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමේ අවස්ථාවට විදෙස් ක්‍රීඩකයින් 75 දෙනෙකු ඉදිරිපත් වන බවයි.

තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5 හි හිමිකරුවන්ගේ අයිතිවාසිකම්, රූපවාහිනී විකාශනය, නිෂ්පාදනය සහ ක්‍රීඩාංගණවල අයිතීන් පිළිබඳව සියළු මෙහෙයවීම් කටයුතු අයි.පී.ජී. ආයතනය විසින් සිදුකරනු ඇති.

තරගාවලිය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් විදෙස් ක්‍රීඩකයින් 420 දෙනෙකු අයැදුම් කර තිබූ බවත්, ඉන් 150 දෙනෙකු පමණක් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සඳහා සුදුසුකම් ලබා තිබූ බවත්, මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

කෙසේ වෙතත්, නිරෝධායන කාලසීමාවන් සහ කොරෝනා වසංගත තත්ත්වය ඔස්සේ ඇති වූ තත්ත්වයන් හේතුවෙන් තරගාවලියට එක්වීමට නියමිතව සිටි විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව අවම වුණා.

ඉන්දියාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද මේ සදහා අයැදුම් කර තිබීම විශේෂත්වයක්.

තරගාවලිය සදහා කණ්ඩායම් පහක් එක් වන අතර කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන නගර 5 කේන්ද්‍ර කර ගනිමින් කණ්ඩායම් 5 නම් කර තිබෙනවා.

එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

මෙවර පළමු වරට පැවැත්වීමට සැලසුම් කර ඇති ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ක්‍රීඩාංගන දෙකකදී පමණක් පැවැත්වීමට නියමිතයි.

එනම්, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී යි.

තරගාවලිය නිල වශයෙන් ආරම්භ කිරීම හම්බන්තොට දී සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දින 15ක කාලයක් පැවැත්වෙන තරගාවලියට තරග 23 ක් ඇතුළත් අතර, එය නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 13 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පසුගිය අගෝස්තු 28 වනදා ආරම්භ කිරීමට පළමුව තීරණය කර තිබුණා.

පසුව එය නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා රංගිරි දඹුල්ල, පල්ලකැලේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමටයි තීරණය කෙරුණේ.

කෙසේ වෙතත්, අනතුරු එය නොවැම්බර් 21 වනදා දක්වා යළි සතියකින් කල් දැමුණා.

ක්‍රීඩක කෙටුම්පත් කිරීම ද ඔක්තෝම්බර් පළමුවැනිදා සිදු කිරීමට මීට පෙර නියමිතව තිබූ අතර, පසුව එය 09 වැනිදා දක්වාත්, අනතුරුව අද දිනය දක්වාත් කල් දැමීමටයි තීරණය කෙරුණේ.

Leave a comment