Ultimate magazine theme for WordPress.

LPL කණ්ඩායම්වල ලොකු වෙනසක්; ප්‍රධාන ක්‍රීඩකයින් සහ මිලත් ප්‍රකාශ කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර ආරම්භ වීමට තවත් ඇත්තේ දින 40කටත් අඩු කාලයක් පමණයි.

තරගාවලිය ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, ඊට මෙවරත් කණ්ඩායම් 5ක් එක්වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ ඒ කණ්ඩායම්වලට ඇතුළත් ප්‍රධාන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් (Icon Players) පිළිබද තොරතුරු මේ වන විට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව පසුගිය වරට සාපේක්ෂව එහි වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.

පසුගිය වසරේ පැවැති තරගාවලියේ දී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ කුසල් ජනිත් පෙරේරා මෙවර නම් කර ඇත්තේ කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙසයි.

පසුගියවර දඹුල්ල වයිකින්ග් කණ්ඩායම නියෝජනය කළ නිරෝෂන් දික්වැල්ල ටස්කර්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස මෙවර නම් කර තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙසත්, දසුන් ශානක දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙසත්, වනිදු හසරංග ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙසත් නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එම ප්‍රධාන ක්‍රීඩකයෙකුගේ වටිනාකම අමෙරිකානු ඩොලර් 60,000ක්.(රුපියල් ලක්ෂ 120ක් පමණ වේ)

ඊට අමතරව Icon Overseas සහ Diamond Overseas යන කාණ්ඩ යටතේ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ප්‍රධාන ක්‍රීඩක කෙටුම්පත් (Draft) කිරීමේ අවස්ථාවට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සිය කණ්ඩායම් වෙත ලබා ගත යුතුයි.

සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගත හැකි අතර, එම ක්‍රීඩකයින් 20 දෙනා අතරට දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් විය යුතුයි.

අවශ්‍යනම් කණ්ඩායම් කළමණාකාරීත්වයට පසුගියවර සංචිතයේ රැදී සිටි ක්‍රීඩකයින් අතරින් සිව්දෙනෙකු (දේශිය 2 හා විදෙස් 2) මෙවර තරගාවලිය සදහා ද රදවා තබා ගත හැකි බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු තරගාවලි සංවිධායකයින්ට ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර දැනුම් දිය යුතුයි.

වට 20ක් යටතේ පැවැත්වෙන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී 15 වන හා 16 වන වටවලදී කණ්ඩායම් විසින් දේශීය නැගී එන ක්‍රීඩකයින් සිය කණ්ඩායම් සදහා තෝරා ගත යුතු බව සදහන්.

ජනවාරි පළමු වැනිදා වන විට අවුරුදු 23ට අඩු වයසක පසු වූ සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කර නොමැති ක්‍රීඩකයින් එහිදී තෝරා ගත යුතුයි.

එල්.පී.එල් තරගාවලියේ දී ඒ ඒ කණ්ඩායම් සදහා ක්‍රීඩා කරන අවසන් 11 දෙනාගේ කණ්ඩායම සදහා විදෙස් ක්‍රීඩකයින් අවම වශයෙන් තිදෙනෙකු ඇතුළත් විය යුතු අතර, උපරිම වශයෙන් සිව් දෙනෙකු ඇතුළත් කළ හැකියි.

තරගාවලියට සම්බන්ධ කර ගත නොහැකි වන ක්‍රීඩකයින් වෙනුවෙන් ආදේශක ක්‍රීඩකයින් තෝරා ගැනීම සදහා එල්.පී.එල්  තරගාවලිය ආරම්භයට දින 10කට පෙර ක්‍රීඩක ආදේශ කිරීමේ කෙටුම්පත් අවස්ථාවක් (Player Replacement Draft) පැවැත්වෙනු ඇති.

එම ආදේශ කිරීමේ දී ද නව ක්‍රීඩකයින් තෝරා ගත යුත්තේ, තරගාවලියට එක් නොවන ක්‍රීඩකයා අයත් වූ කාණ්ඩයට අයත් ක්‍රීඩක කාණ්ඩයෙන්මයි.

දේශීය ප්‍රධාන ක්‍රීඩකයින් සහ කාණ්ඩවලට අදාළ ක්‍රීඩකයින්ගේ වටිනාකම පහතින් –

Also Read : LPL ක්‍රීඩක ලියාපදිංචිය ඇරඹේ; කොන්දේසි සහ සංයුතිය ප්‍රකාශයට පත් කෙරේ

Local Icon Players

  • Kandy: Niroshan Dickwella
  • Colombo: Kusal Janith Perera
  • Galle: Danushka Gunathilaka
  • Dambulla: Dasun Shanaka
  • Jaffna: Wanindu Hasaranga

Leave a comment