Ultimate magazine theme for WordPress.

LPL වෙන්දේසිය ගැන තොරතුරු රැසක් හෙළි කෙරේ – කණ්ඩායම් තුනක හිමිකරුවන් ඉවතට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 420 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සදහන් කළේ ඉන් ක්‍රීඩකයින් 154 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන අතර, සෙසු ක්‍රීඩකයින් 266 දෙනා විදෙස් ක්‍රීඩකයින් වන බවයි.

LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා විදෙස් ක්‍රීඩකයින් 600 කට වැඩි පිරිසක් ලියාපදිංචි වී තිබූ නමුත්, ඉන් ක්‍රීඩකයින් 260 දෙනෙකු පමණ (266) වෙන්දේසිය සදහා ඉදිරිපත් කිරීමට තෝරා ගත් බවයි LPL තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවෙල මහතා ද අද කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

ඊට අමතරව දේශීය ක්‍රීඩකයින් 140 දෙනෙකුගේ පමණ නම් ලැයිස්තුවක් ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ලබා දී තිබූ බවත්, සෑම ප්‍රධාන ක්‍රීඩා සමාජයකටම ක්‍රීඩකයින් දෛනෙකු බැගින් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබූ බවත් සමන්ත දොඩංවෙල මහතා සදහන් කළා.

ඒ අනුව සමස්තයක් වශයෙන් ක්‍රීඩකයින් 420 දෙනෙකු එළඹෙන අගහරුවාදා (21) කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන අතර, වෙන්දේසිය දහවල් 12 ට ආරම්භ වීමට නියමිතයි.

වෙන්දේසිකරු ලෙස මෙවරත් චාරු ෂර්මා කටයුතු කරනවා. වෙන්දේසිය සදහා මූලික වට 18 ක් ඇතුළත්.

කණ්ඩායම් තුනක හිමිකරුවන් ඉවතට

මේ අතර, ක්‍රිකට් ආයතනය විසින් ලබා දුන් මාර්ගෝපදේශ පිළිපැදීමට අපොහොසත් වීම හේතුවෙන් කණ්ඩායම් දෙකක හිමිකරුවන් ඉවත් කිරීමට සිදු වූ බව ද LPL තරගාවලියේ අධ්‍යක්ෂවරයා මෙම මාධ්‍ය හමුවේ දී සදහන් කළා.

ඒ අනුව ගාල්ල හා දඹුල්ල කණ්ඩායම් මේ වන විට නව හිමිකරුවන් දෙදෙනෙකු යටතට පත්ව ඇති බවත්, මහනුවර කණ්ඩායමේ හිමිකාරීත්වයේ ද වෙනසක් සිදු වීමට නියමිතව ඇති බවත් ඔහු පවසා සිටියා.

මහනුවර කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා දීම සදහා මේ වන විට පාර්ශවල තුනක් සමග සාකච්ඡා සිදු ‍කරමින් පවතින අතර, කඩිනමින් එම කටයුතු අවසන් කරන බවයි දොඩංවෙල මහතා කියා සිටියේ.

ක්‍රීඩකයින් මිලදී ගන්න කෝටි 30 ක්

වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් සිය සංචිතයේ රදවා ගැනීමට (පසුගිය වසරේ සිටි ක්‍රීඩකයින් අතරින්) හා ක්‍රීඩකයින් සමග සෘජුව ගිවිසුම්ගත වීමට ද කණ්ඩායම් හිමිකරුවන්ට අවස්ථාව පවතිනවා. එම ක්‍රමවේද දෙක ඔස්සේම සංචිතයකට ලබා ගත හැකි උපරිම ක්‍රීඩකයින් සංඛ්‍යාව හයක්.

ක්‍රීඩක වෙන්දේසියේ දී එක් කණ්ඩායමකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක (රුපියල් කෝටි 15ක් පමණ) මුදලක් වියදම් කරමින් ක්‍රීඩකයින් මිලදී ගත හැකි අතර, වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් සමග සෘජුව ගිවිසුම්ගත වීම සදහා ද ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක මුදලක් වියදම් කළ හැකියි.

වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් සමග සෘජුව ගිවිසුම්ගත වීමට ලබා දී ඇති මුදල් ඉතිරි වුවහොත්, එම මුදල් වෙන්දේසියේ දී යොදා ගැනීමට අවස්ථාවක් හිමි වන්නේ නැහැ.

එමෙන්ම පසුගිය වසරේ දී ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු/ක්‍රීඩකයින් සිය සංචිතයේ රදවා ගැනීමට යම් කණ්ඩායමක් තීරණය කර ඇත්නම්, එම ක්‍රීඩකයාගේ වටිනාකම, අදාළ කණ්ඩායමට වෙන්දේසියේ දී වියදම් කිරීමට හිමිව ඇති ඩොලර් ලක්ෂ පහෙන් අඩුවන අතර, වෙන්දේසියේ දී වියදම් කළ හැකි වන්නේ ඉතිරිවන මුදල් ප්‍රමාණයයි.

තවත් LPL කණ්ඩායමක් ?

LPL තරගාවලිය ආරම්භයේ සිට මේ දක්වා කණ්ඩායම් පහක් පමණක් ක්‍රීඩා කරන අතර, තවත් කණ්ඩායමක් තරගාවලියට එක් කර ගැනීම සම්බන්ධයෙන් සෑම වසරකදීම මෙන් අදහස් පලව තිබුණා.

මේ සම්බන්ධයෙන් ද අද පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රශ්න කෙරුණු අතර, ඊට පිළිතුරු ලබා දෙමින් තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවෙල මහතා කියා සිටියේ තවත් කණ්ඩායමක් තරගාවලියට ඇතුළත් කළහොත් එය තරගාවලියේ ප්‍රමිතිය පහත වැටීමට හේතු වන බවයි.

එහිදී දක්ෂ ක්‍රීඩකයින් කණ්ඩායම් රැසකට බෙදී යාම තුළ තරගාවලියේ තරගකාරීත්වයට බලපෑම් එල්ල වනු ඇති බව හෙතෙම පෙන්වා දුන්නා.

කෙසේ වෙතත්, තවත් කණ්ඩායමක් තරගාවලියට ඇතුළත් කිරීමට ඉදිරියේ දී කටයුතු සූදානම් කරන බව ද අධ්‍යක්ෂවරයා සදහන් කළා.

ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්

මේ අතර, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන රාත්‍රී තරග අවසන් වීමෙන් පසුව නිසි ප්‍රවාහන පහසුකම් නොමැති වීම නිසා මහනුවර බලා පැමිණෙන ප්‍රේක්ෂකයින් දැඩි අපහසුතාවයට පත් වීම වළක්වා ගැනීමට මෙවර පියවර ගෙන ඇති බව ද ඔහු කියා සිටියා.

ඒ අනුව අමතර බස් රථ 10 ක් පමණ රාත්‍රී කාලයේ දී ක්‍රීඩාංගනයේ සිට මහනුවර දක්වා මගී ප්‍රවාහනය වෙනුවෙන් යෙදවීමට කටයුතු සූදානම් කර ඇති බවයි අධ්‍යක්ෂවරයා පැවසුවේ.

මේ අතර, කාන්තා T10 තරගාවලියක් පළමුව පවත්වා පසුව LPL වැනි විස්සයි 20 ලීග් තරගාවලියක් ක්‍රීඩිකාවන් වෙනුවෙන් ද පැවැත්වීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි LPL අධ්‍යක්ෂ සමන්ත දොඩංවෙල මහතා පවසා සිටියේ.