Ultimate magazine theme for WordPress.

LPL අවසන් වටයේ කාලසටහන හා අවසන් ප්‍රසාද ලකුණු සටහන මෙන්න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අද(15) අවසන් වුණා.

මූලික වටයේ තරග 20 අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගැනීමට සමත් වුණේ කුසල් මෙන්ඩිස් නායකත්වය දරන දඹුල්ල අවුරා කණ්ඩායමයි. ඔවුන් තරග 8න් තරග 6ක් ජය ගැනීමට සමත් වුණා.

දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට දසුන් ශානක මෙහෙයවන ගෝල් ටයිටන්ස් කණ්ඩායම අද සමත් වුණේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව ලැබූ කඩුලු 8ක විශිෂ්ඨ ජයග්‍රහනයත් සමගයි. ගාලු පිල තරග 8න් ජය ගත් තරග ගණන 4 ක්.

ඒ අනුව එළඹෙන 17 වැනිදා පැවැත්වෙන අවසන් වටයේ පළමු තරගය හෙවත් Qualifier 1 තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ දඹුල්ල හා ගාල්ල යන කණ්ඩායම් දෙකයි. එම තරගය පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරග 8න් තරග 4 ක් දිනූ වනිදු හසරංග නායකත්වය දරන බී-ලව් කැන්ඩි කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ හිමි වූයේ තෙවැනි ස්ථානයයි. තරග 8න් 3ක් ජය ගත් තිසර පෙරේරා මෙහෙයවන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සිව්වැනි ස්ථානය හිමි කර ගත්තා.

ඒ අනුව එළඹෙන 17 වැනිදා රාත්‍රී 7.30ට ආරම්භ වන අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගය සදහා ක්‍රීඩා කරන්නේ මහනුවර හා යාපනය යන කණ්ඩායම් දෙකයි.

Qualifier 1 තරගය ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා. පරාජයට පත් වන කණ්ඩායම Eliminator තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගයේ දී තරග වැදීමට නියමිතයි.

Qualifier 2 තරගය එළඹෙන 19 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඉන් ජය ගන්නා කණ්ඩායම එළඹෙන 20 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා.

අවසන් වටයේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, Qualifier 2 හා අවසන් මහා තරගය රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතයි.

අවසන් ප්‍රසාද ලකුණු සටහන –

[team_standings 49368]